හිතුමතේට ඇන්ටිබයොටික් ගන්නා අයට වෙන දේ දන්නවාද?

ඖෂධ ගැනීම සම්බන්ධ වැරැදි චර්යා රටා
නොවැම්බර් 22, 2021

 

 

  •  හැමවිටම රෝගයක් වැලඳුණු විටදී සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙතම යෑමට වගබලාගන්න.
  •  වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිම විටෙක ෆාමසිවලින් ප්‍රතිජීවක ඖෂධ මිලදී ගන්න එපා. (ඔබට ලබා දෙන ඖෂධය, ගැළපෙන ප්‍රතිජීවකය නොවීමේ අවස්ථා වැඩියි.)
  •  පවුලේ අනෙක් අයට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ ඔබට හෝ ඔබේ පවුල් අයට ලබා නොදෙන්න.
  •  පෙර අවස්ථාවක දී භාවිත කර ඉතිරි වූ ප්‍රතිජීවක හිතුමතේ ගන්න එපා. රෝග ලක්ෂණ සමාන වූ පමණින් රෝගය එකම වන්නේ නැහැ.
  •  වෛද්‍යවරයා අනුමත කළ ප්‍රතිජීවක මාත්‍රාව හා වාර ගණන, නියමිත දින ගණනට පාවිච්චි කරන්න. රෝගය සුව වූවා කියා ඖෂධ ගැනීම නතර කරන්න එපා.
  • මෙම ඖෂධ නිසා අතුරු ආබාධ ඇත්නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කරන්න.

ඔබ දන්නවා ද 2050 වසර වන විට විශේෂයෙන් ම ආසියානු සහ අප්‍රිකානු මහද්වීපවලට අයත් රටවල මිනිසුන් බොහෝ පිරිසක් මිය යනුයේ ප්‍රතිජීවක ඖෂධ හිතුමතයට භාවිත කිරීමේ අනිටු ඵලයේ විපාක භුක්ති විඳිමිනි.

 

 

හිතුමතේට ඖෂධ ගන්නට අපේ ඇතැම් දෙනා හරි දක්ෂයි. බෙහෙත් මල්ලේ බෙහෙත් අතට දැනෙන්න නැත්නම් හිතට මදි මදි වගේ. මේ බෙහෙත් මල්ලට ඇන්ටිබයොටික් එකක් එකතු නොවුණොත් නම් හිතට හරිම නැහැ.

නිතර නිතර හෙම්බිරිස්සාව, කැස්ස වගේ රෝග හැදෙන නිසා ශානිකා, එයාගේ සැමියා අවුරුදු තුනක් වයසැති පුංචි දෝණි මේ හැමෝම බෙහෙත් ගන්න යන්නේ ඒ පැත්තේ වන්ෂොට් නමින් කවුරුත් හඳුන්වන දොස්තර කෙනෙක් ළඟට. ඉතිං මේ බෙහෙත් මල්ලෙ ඇන්ටිබයොටික් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් නම් වැරැදුණේ ම නැහැ.

අපි භාවිත කරන ඖෂධ පිළිබඳ දැන සිටීම හරිම වැදගත් .

සෑම රෝගයකට ම ඇන්ටිබයොටික් එකක්

 

Antibiotics නැතිනම් ප්‍රතිජීවක ඖෂධ යනු මොනවාද? මේවා බොහෝ විට යොදා ගන්නේ බැක්ටීරියා ආසාදන සුව කිරීමට. අපි දන්නවා අපේ ශරීරයට වයිරස්, බැක්ටීරියා, පරපෝෂිත සහ දිලීර යනාදිය මූලික කරගත් ලෙඩ රෝග වැලඳෙන බව. වයිරස් කාණ්ඩයේ රෝගයක් වැලඳුණු විටදි ඇන්ටිබයොටික් වර්ගයේ ඖෂධ ගැනීම සුදුසු නැහැ. පරපෝෂිත සහ දිලීර සඳහාත් එලෙසම යි. එසේ නම් බැක්ටීරියා කාණ්ඩයේ රෝග සඳහා නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ හෙවත් ඇන්ටිබයොටික් සුළු සුළු රෝග තත්ත්ව සඳහා නිර්දේශ කිරීමෙන් වන හානිය සුළුපටු එකක් නොවෙයි.නොවැම්බර් 18 සිට 24 දක්වා සතියක කාලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිජීවක අවභාවිතය වැළැක්වීමේ සතිය ලෙස වාර්ෂිකව නම් කොට තිබේ. මෙවර එහි තේමාව වනුයේ ප්‍රතිජීවක අවභාවිතය වැළැක්වීමට දායක වෙමු. (Spred awareness stop resistance) යන්නයි.

 

බහුලව අවභාවිතවන ප්‍රතිජීවක ඖෂධ

වෛද්‍යවරුන් ෆාමසිවලින් ඖෂධ වට්ටෝරු රැගෙන එන්නන් බැක්ටීරියා ආසාදන නොවන අවස්ථාවලදී බහුලව අවභාවිත කරන ප්‍රතිජීවක ඖෂධ අතර Penicillin, Amoxicillin" Cloaacillin, Clarythomicin, Ciprofloxacin, Co-amoxuclav යනාදිය කැපී පෙනේ.

 

කෝවිඩ් රෝගීන් සඳහා

 

කෝවිඩ් වැලඳුණු රෝගීන්ට වෛද්‍යවරුන් වැඩිපුරම ලබා දී ඇත්තේ clorythromicin නම් වූ ප්‍රතිජීවක ඖෂධයයි. කෝවිඩ් යනු වයිරස් ආසාදනයකි. එහෙත් කෝවිඩ් රෝගීන් අතරින් බහුතරයක් දෙනා ලබාගෙන ඇත්තේ බැක්ටීරියා ආසාදනයන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධයකි. ඉතිං ඔබට පසු කෝවිඩ් සංකූලතාවන් වැලඳී නොතිබේවිද?

වෛද්‍යවරයෙක් රෝගියකු ගේ මුල්ම හමුවේ දී ප්‍රතිජීවක ඖෂධයක් නියම නොකිරීම පිළිබඳ ඔබ වදවන්නට එපා. බැක්ටීරියා යනු ක්ෂුද්‍ර ජීවි විශේෂයකි. ඔවුන් ඉතා ඉක්මනින් තමන් ජීවත්වන පරිසරයට අනුවර්තනය වෙයි. එසේ අනුවර්තනය වීම නිසා ම තමා මර්ධනය කළ හැකි ඖෂධවලට එරෙහි ව ප්‍රතිරෝධයක් ඇතිකර ගැනීමට ද දක්ෂය. Antibiotic resistance ලෙස හඳුන්වනුයේ මෙම තත්ත්වයයි. නිතර ඇන්ටිබයොටික් ලබා ගන්නා හෝ ඇන්ටිබයොටික් නිවැරැදි ලෙස භාවිත නොකරන පුද්ගලයින් තුළ ජීවත්වන බැක්ටීරියා මෙලෙස ප්‍රතිරෝධයක් නිපදවාගත් බැක්ටීරියාවක් (Antibiotic resistant bacteria) ය. මේ බැක්රීටියාවන් රෝහල්වල හා සමාජයේ ඉතා වේගයෙන් පැතිරෙයි.

සුවිශේෂී බැක්ටීරියාවන් ඇතිකරන ආසාදන අපට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි ආසාදන නොවේ. එසේ සිදුව ඇත්තේ අපි දැනට භාවිතකරන ඇන්ටිබයොටික් වැඩි ප්‍රමාණයකට මේ බැක්ටීරියා ප්‍රතිරෝධ වන නිසා එවැනි ආසාදන මරණය කරා වුව යා හැකියි.

ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා වසර ගණනාවක් ගත වේ. විශාල පිරිවැයක් ද දරන්නට සිදුවේ. එබැවින් අලුත් ම ප්‍රතිජීවක ඖෂධ නිපදවීම ඉතා සෙමින් සිදුවන්නකි. එසේ නම් වෛද්‍යවරුන්ගේ, රෝගීන්ගේ වගකීම වන්නේ ප්‍රතිජීවක අවභාවිත වීම (Irrational use of antibiotics) වැළැක්වීමට නැතිනම් ප්‍රතිජීවක නිවැරැදි ලෙස පාවිච්චි කිරීමට වගබලා ගත යුතුයි.කැස්ස, හෙම්බිරිස්සාව වැනි වයිරස් ආසාදන සඳහා කිසිවිටෙක ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න එපා. මෙවැනි ආසාදන තම තමන්ගේ ශරීරවල ඇති ප්‍රතිශක්තිකරණය මඟින් ම සුවවීමට ඉඩ දෙන්න. ඒ සඳහා විවේකය, දියර වර්ග පානය, උණ අඩුකිරීමට අවශ්‍ය ඖෂධයක් පමණක් ලබා ගන්න.

 

 

උපදෙස් - ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවි වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය

සමන්මලී ගුණසේකර හා විශේෂඥ වෛද්‍ය

කිශානි දිනපාල