වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වැස්සත් එක්ක හෙම්බිරිස්සාවත් ඇවිත්
සිසිල් කළ ආහාරපාන බණ්ඩක්කා, නිවිති, ඇඹුල් කෙසෙල්, රසකාරක යෙදූ කෘත්‍රිම ආහාරපාන, ඉස්සො, දැල්ලො වැනි උෂ්ණාධික ආහාර මේ රෝගීන්ට සුදුසු නැත.
මේ විදිහට පරිස්සම් වෙමු
නොනවතින වැස්ස... සීතල සුළං, පින්න, එළියට බහින්න බෑ තෙමෙනවා. ඒ නිසාම මේ දිනවල බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන සුලබ රෝගයක් තියෙනවා. ඒ අපි හැමෝටම හැදෙන සෙම්ප්‍රතිශ්‍යාව... එහෙමත් නැත්නම් අපි කවුරුත් කියන හෙම්බිරිස්සාව.
වැසිබර කාලගුණයත් සමඟ හෙම්බිරිස්සාව හැදෙන්න පාර පෙන්වනවා. ඒත් මෙය වයිරසයක් මඟින් බෝවීම සිදු වෙන්නක්.
රෝග ලක්ෂණ
උගුර කැසීම, කැස්ස, සොටු දියර ගැලීම, නාසය බර බව, කිවිසුම් යාම මූලික රෝග ලක්ෂණ වන අතර පසුව නාසයේ වියළි බව, හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, ආහාර අරුචිය, අලස බව යන රෝග ලක්ෂණ පැන නැඟීමට ඉඩ ඇත. සීතල ජලය පානය කිරීම හා ස්නානය කිරීම, ශීත සුළං වැදීම, ශීතල ආහාරපාන ගැනීම, නිදිවැරීම ආදී ක්‍රියා හේතුකොට ගෙන නරක පැත්තට හැරී පෙණහලුවල සෙම පිරීමට ඉඩ ඇත. ඇතැම්විට හතිය, කන්වල සෙම පිරීම, අගුලු වැටීම මෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය දක්වා වර්ධනය වීමට ද පුළුවන්.
බෝවීම වළක්වන්න
එපමණක් නොව, රෝගී පුද්ගලයකුගේ කැස්ස හෝ කිවිසුම් මඟින් සෙම්ප්රතිෂ්යාව අන් අයට බෝවීමේ ප්‍රවණතාව වැඩිය. මේ දිනවල ඇඳුම් පැලඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ආදිය හොඳින් වේළා ගැනීමත් අපහසුයි. සූර්යාලෝකය අඩු නිසා විසබීජ විනාශ වීමේ හැකියාව අඩු වේ. එබැවින් පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගය බෝවීමේ ඉඩකඩ වැඩිය. කිවිසුම් හා කැස්ස ඇති වෙන අවස්ථාවල දී අත් ලේන්සු හෝ පිරිසුදු රෙදි කඩක් භාවිත කිරීම, එසේත් නොමැති නම් මුව ආවරණ භාවිත කිරීම ඉතාමත් යහපත් සෞඛ්‍ය පුරුද්දක්. ඉන් තමාගේ මෙන්ම තමා අවට සිටින සියලුදෙනාගේම සෞඛ්‍ය සුරක්ෂිත වේ. විශේෂයෙන් හතිය, ඇදුම පවතින රෝගී පුද්ගලයන් ශරීරය උණුසුම් පවත්වාගෙන යාම සඳහා ශීතලට ඔරොත්තු දෙන හිස් වැසුම් හා ඇඳුම් පැලඳුම් පරිහරණය කළ යුතුයි. නිතර උණුසුම් දේවල් පානය කළ යුතුයි. ආහාර උණුසුම්ව ගත යුතුයි. එමඟින් රෝගය උත්සන්න වීමට බලපාන බාහිර හේතු පාලනය කළ යුතුයි.
ප්‍රතිකාර
මේ දිනවලත් සියලු දෙනාම මුව ආවරණයක් පැලඳීම අනිවාර්ය වේ. කොරෝනා වසංගතය සීඝ්රයෙන් පැතිරී ගිය අවස්ථාවේදී මුව ආවරණයෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබුණු බව අවිවාදයෙන් පිළිගත යුතුය. මෙකී රෝගී තත්ත්වයන්ට නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් හා ආරක්ෂිත පියවර අනුගමනය කිරීමෙන් රෝගයේ බරපතළ බව අඩුකර ගැනීමට හැකියාව ඇත. විශේෂයෙන් කුඩා දරුවන් සෙම්ප්රතිශ්යාවෙන් වළක්වා ගත යුතුය. කෝප වූ සෙම් කොටස් වියළි ස්වභාවයෙන් ශරීරය තුළ තැන්පත් වී පසුකාලීනව අධික හිසරදය ඇතිවීමට ඉඩකඩ ඇත.
සුදුසු නුසුදුසු
නමුත් එම අනවශ්‍ය සෙම් කොටස් ඉවත් කර ගැනීමේ හැකියාව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පවතී. පේයා වර්ග, කසාය වර්ග මෙන්ම ඖෂධීය ද්‍රව්‍ය ජලය යොදා තම්බා හුමාලය ඇල්ලීම සහ නාසයෙන් ඉර වීම යනාදී ශ්වසන පද්ධතිය පිරිසුදු කිරීමේ විවිධ ක්‍රම වේද එමටය. සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන රෝග සඳහා පිරිසුදු මී පැණි ඉතාමත් ගුණදායකය. මීට අමතරව ඇඹුල් දොඩම්, දෙහි වැනි පාන සුදුසුවේ. එසේම උණුසුම් ජලය සහ උණුසුම් ආහාර මෙන්ම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් රෝග නිවාරණය කරගැනීමට හැකි වේ. සිසිල් කළ ආහාරපාන, බණ්ඩක්කා, නිවිති, ඇඹුල් කෙසෙල්, රසකාරක යෙදූ කෘත්‍රිම ආහාරපාන, ඉස්සො, දැල්ලො වැනි උෂ්ණාධික ආහාර මේ රෝගීන්ට සුදුසු නැත. නිසි වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබා ගැනීමෙන් රෝගය සුව කර ගත හැකි බවත් නීරෝගි දිවියකට හිමිකම් ලබාගත හැකි බවත් කිව යුතුයි.
අත්බෙහෙත්
ඉඟුරු කොත්තමල්ලි පානය
අප දන්නා මූලිකම අත් බෙහෙතක් තමයි ඉඟුරු හා කොත්තමල්ලි පානය. මෙය ඇතැමුන් තේ වෙනුවට ද පානය කරනවා. කොත්තමල්ලි ඇට වශයෙන් කබලේ බැද තම්බා පානය කිරීම මෙන්ම හොඳින් බැද කුඩු කර පානය කිරීම ද සිරිතකි. සෙම හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඉඟුරු ටිකක් ද එක්කර තම්බා පනය කරන්න. කිසිවිටෙකත් කොත්තමල්ලි නොබැද එකතු කරන්න එපා.
ඉඟුරු හා දෙහි දැමූ තේ
සෙම් රෝගයේ දී අපට දැනෙන මූලික අපහසුවක් තමයි උගුරේ අමාරුව. ඒ සඳහා සහනයක් ලබා ගන්න ඉඟුරු හා දෙහි ඇඹුල් ටිකක් මිශ්‍ර කර ගත් තේ පානය සුදුසුයි. මේ සඳහා තළාගත් ඉඟුරු කැබැල්ලක් හා දෙහි යුෂ ස්වල්පයක් තේ එකට මිශ්‍ර කර උදේ හවස පානය කිරීමෙන් එම තත්ත්වය සමනය කළ හැකි වේ.
කල්ක
ඇඹුල් දොඩම් හා අමු ඉඟුරු ඉස්ම සමව ගෙන මී පැණි සමඟ බුද්ධරාජ කල්කය දියකර මේස හැඳි 2 බැගින් දිනකට දෙවරක් හෝ තුන්වරක් පානය කරන්න. මෙමඟින් උගුරේ පවතින සෙම් ගෙඩි හා වියළී ඇති සෙම ඉවත් වීම සිදු වන අතර සතියකට දෙතුන් වරක් කළ ද වරදක් නොමැත.
ලෙමන් යුෂ මී පැණි
උණුසුම් ජලය කෝප්පයක් ගෙන එයට ලෙමන් යුෂ හා මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කරන්න. නැතිනම් ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කර දිනකට දෙතුන් වරක් පානය කරන්න. ලෙමන් නැතිනම් ඒ වෙනුවට දෙහි යුෂ වුව ද භාවිත කළ හැකියි.
උපදෙස්
ආයුර්වේද වෛද්‍යාචාරිණී
සාමවිනිසුරු දේශබන්දු
කාන්ති මදුරප්පෙරුම