ඔයාටත් හොරකම් කරන්න හිතෙනවද ?

ජූලි 15, 2024

 

"කොහේ හරි සල්ලි තියෙනවා දැක්කොත් මම ඒක නොගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් මම ඒක නොගෙන ඉන්නකොට මට ඒක මැවි මැවී පේනවා. නිදාගන්න ගිය විටත් පේනවා. පාඩම් කරනකොටත් පේනවා. ඒක ගන්නම කියලා ලොකු  බලපෑමක් හිතට එනවා. ඒක නොගෙන ඉන්නකොට මට හරි අමාරුයි. එතකොට මට වෙන වැඩක් කරන්න බැහැ. ඒ නිසා කවුරුත් නැති වෙලාවක් බලලා මම ඒක කොහොමහරි ගන්නවා. ඒක ගත්තට පස්සේ තමයි මගේ හිතේ අසහනය නැති වෙන්නේ. ඒකයි ඒ මුදල් මම ගන්නේ. මට ඒ මුදල්වලින් ප්‍රයෝජනයක් නැති වුණත් මම අසහනය අඩු කරගන්න ඒ මුදල් හොරෙන් ගන්නවා.” මේ පුරුද්දක් විදිහට සොරකම් කරන යුවතියක් කියපු කතාවක්.

මෙය ක්ලෙප්ටොමේනියා මානසික රෝගයයි. අන්සතු දෙයක් දුටු විට එය සොරෙන් ගන්න යැයි සිතට විශාල බලපෑමක් හට ගැනීම මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණයයි. අන්සතු මුදලක්, භාණ්ඩයක් හෝ කඩයක විකිණීමට තියෙන දෙයක් මෙන්ම කාර්යාලයේ තිබෙන දේවල් සොරකම් කිරීමට මෙවැනි පුද්ගලයන්ට සිතේ. ඔවුන්ට  අවශ්‍ය දේ සොරකම් කිරීමෙන් පසුව සිතේ තිබෙන නොසංසිඳෙන බලපෑම නැති වේ.

මෙහිදී ඔවුන් සොරකම් කරන දෙය ඉතා කුඩා සහ ප්‍රයෝජනවත් නොවන, මූල්‍යමය වටිනාකම අඩු දෙයක් විය හැකිය. සොරකම් කරන දෙය ඇතැම් විට ප්‍රයෝජනයට නොගෙන විසී කර දමති. නැතනම් එකතු කරගෙන ළඟ තබා ගනියි.සොරකම් කිරීමෙන් පසු හිතට දැනෙන පීඩනය නැති වී සහනයක් දැනෙයි. එම පීඩනය අඩු වුණත් මම වැරදි වැඩක් කළා යැයි සිතට තවත් පීඩනයක් ඇතිවේ. නැවත අන්සතු යමක් දුටුවිට එය සොරකම් කරන්න යැයි පීඩනයක් ඇතිවේ.

මෙම රෝග ලක්‍ෂණ හැරුණුකොට වෙනත් ලක්‍ෂණයක් හඳුනාගත නොහැකිය. අනෙක් මිනිසුන් මෙන් සාමාන්‍ය පරිදි සියලු වැඩකටයුතු සිදු කරයි.

බොහෝ වේලාවට මෙවැනි රෝගීන් සොරකම් කිරීමට පටන් ගන්නේ ගෙදර තිබෙන මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමෙනි. මව්පියන් සතු දේවල් සොරකම් කිරීමෙන් ආරම්භ වී පසුව මිතුරන්ගේ දේවල් සොරකම් කරයි. රෝග තත්ත්වය උග්‍ර වූ පසු කඩවලින් භාණ්ඩ සොරකම් කිරීම සිදු කරයි. කොතරම් මුදල් තිබුණත් සොරකම් කිරීමෙන් ලැබෙන ආස්වාදය මිලදී ගැනීමෙන් නොලබයි. ඇතැම් විට ඇඳුම් සාප්පු හිමිකරුවකු වුවත් වෙනත් ඇඳුම් කඩවලින් ඇඳුම් සොරකම් කිරීමට පෙලඹේ. මෙවැනි අවස්ථාවලදී සොරකම් කරනවිට හසු වී ගුටි කෑමට, බැණුම් ඇසීමට මෙන්ම සමාජයේ අපවාදවලට ලක් වීමට සහ සමාජයෙන් කොන් වීමටද සිදුවේ. සිතට දැනෙන පීඩනය නිසා එම වරද නොකර සිටීමට පියවර ගැනීමට ඔවුන්  අපොහොසත්ය. ඇතැම් විට වෙනත් අය සිදු කරන සොරකම්වලට තමාම හසුවීම පවා මෙහිදී සිදුවන අහිතකර ප්‍රතිඵලයන්ය.

 

ක්ලෙප්ටොමේනියා රෝගය වැලඳීමට හේතු

ක්ලෙප්ටෝමේනියා රෝගය වැලඳීමට නිශ්චිත හේතුවක් තවමත් හරියට සොයාගෙන නැත. නමුත් විවිධ පෞරුෂත්ව ආබාධ තිබෙන අය මෙවැනි රෝගයකට ගොදුරු විය හැකිය. ගැහැනු, පිරිමි භේදයකින් තොරව ක්ලෙප්ටොමේනියා රෝගය වැලඳෙයි. වයස් භේදයකින් තොරව රෝගයට ගොදුරු විය හැකිය.

 

සොරකුගේ සහ ක්ලෙප්ටොමේනියා රෝගියකුගේ වෙනස

සොරකු සැලසුම්සහගතව සොරකම් කළද මේ රෝගීන් එසේ නොකරයි.

මෙම රෝගය තිබෙන පුද්ගලයන්ට ඔෟෂධ ප්‍රතිකාරවලට වඩා සිදු කරනුයේ මනෝ චිකිත්සක ප්‍රතිකාර වේ. Cognitive Behavior Therapy තුළින් රෝගියාට මෙවැනි හැඟීම් පාලනයකර ගන්නා ආකාරය  සහ ආවේගය පාලනයකර ගන්නා ආකාරය  හුරු කිරීම සිදු කරයි. මානසික  සෞඛ්‍ය සායනයට ගිය විට චර්යාත්මක ප්‍රතිකාර මඟින් මෙම රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකිය.

මෙවැනි  රෝගියකු ඔබ දන්නා කෙනෙක් නම් දඬුවම් කිරීම, අපහාස කිරීම හෝ කොන් කිරීමට වඩා ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කරන්න. මන්දයත් දඬුවම් දීම වැනි දේවල් මඟින් රෝගියා තව තවත් මානසික ආතතියකට පත්වී රෝගය උත්සන්න විය හැකිය.