වසර 2035 දී ක්ෂය රෝගය තුරන් කරමු

වසර 2035 දී ක්ෂය රෝගය තුරන් කරමු
සැප්තැම්බර් 30, 2024

 

වසර 2035 වන විට ක්ෂය රෝගය තුරන් කිරීමේ ඉලක්කයක් තිබේ. එම ඉලක්කය සපුරාලීමට නම් ක්ෂය රෝගී වීම අවම කිරීම, ක්ෂය රෝගය නිසාවන මරණ සංඛ්‍යාව අවම කිරීම, ක්ෂය රෝගය නිසා රෝගීන්ට වන පිරිවැය අඩු කිරීම කළ යුතුවේ.

ක්ෂය රෝගය කියූ සැණින් බෝවන රෝගයක් පිළිබඳ ඇති බිය හා චකිතය ඕනෑම කෙනකුගේ සිතට දැනෙයි.

ක්ෂය රෝගීන් 4000, 5000ක් නිදැල්ලේ යනුවෙන් බොහෝදෙනා පවසයි. ඔවුන් නිදැල්ලේම සිටියෝතින් රෝගය තුරන් කිරීමේ ඉලක්කය කරා යෑම අපහසුවේවි.

ක්ෂය රෝගය යනු ආර්ථික, සමාජ තත්ත්ව සමඟ සමීපව බැඳී පවතින්නකි.

2023 වසර වන විට ලංකාවේ ක්ෂය රෝගීන් සංඛ්‍යාව 9538ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් සියයට 46ක්ම බස්නාහිර පළාතින් වන අතර කොළඹින් සියයට 25ක් වේ. එයින් හරි අඩක්ම සිටින්නේ කොළඹ මහ නගර සභාවේය.

මෙය වැඩිපුර දක්නට ලැබෙන්නේ පිරිමින් අතරේය. ඒ ක්ෂය රෝග අවදානම් සාධක ලෙස ගැනෙන දුම්බීම, මත්පැන් බීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැඩිපුර දක්නට ඇත්තේ පිරිමින් අතරේ වන නිසාය.

වයස් කාණ්ඩය අතින් ගත් කල හඳුනාගත් ළමා ක්ෂය රෝගීන් ප්‍රමාණය අඩුය. මේ අවුරුදු 0ත් 14ත් අතර අයයි. එය සියයට 5ත් 15ත් අතර වුවත් හඳුනාගෙන ඇත්තේ සියයට 3ක පමණ ප්‍රමාණයකි. වයස්ගත වන්න වන්න වාර්තා වන ක්ෂය රෝගීන් ප්‍රමාණය වැඩිවේ. මුළු ක්ෂය රෝගීන්ගෙන් අවුරුදු 50 - 55 අතර සියයට 22කුත් අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 23කුත් ක්ෂය රෝගී ලෙස වාර්තාවේ.

2035 ක්ෂය රෝගය සම්බන්ධ ඉලක්ක කරා යෑමට නම්

* 2015 වසරේ තිබූ ක්ෂය රෝග මරණ සංඛ්‍යාව 2035 වසර වන විට සියයට 95කින් අඩු විය යුතුයි.

* ක්ෂය රෝගය ඇතිවීම 2015 වසරට සාපේක්ෂව සියයට 90කින් අඩු කළ යුතුයි.

* කිසිදු ක්ෂය රෝගී පවුලක් එම පවුලට ක්ෂය රෝගය සම්බන්ධයෙන් දැරිය නොහැකි පිරිවැයක් නොදැරිය යුතුයි.

ක්ෂය රෝගය අඩු කිරීමට හැකි තරම් රෝගීන් සොයා ගත යුතුවේ. කිසිදු ක්ෂය රෝගියෙක් නිදැල්ලේ නොසිටිය යුතුයි.

ආසාදන තත්ත්ව ඇති වී අලුතින් ක්ෂය රෝගීන් වාර්තාවේ නම් වෙනත් ලෙසකින් කිවහොත් ඔවුන් සක්‍රීය ක්ෂය රෝගීන් බවට පත්වේ නම් එය වළකාලිය යුතුයි. හැකිතරම් ක්ෂය රෝගීන් සොයා ගැනීම සහ අලුතින් ක්ෂය රෝගය ඇති වීම් අඩුකළ යුතුයි. පුළුවන් තරම් ක්ෂය රෝගීන් සොයා ගන්නා තරමට අනෙක් අයට සම්ප්‍රේෂණය වීම අඩුවෙයි. වක්‍රව අලුතින් ක්ෂය රෝගීන් ඇතිවීම අඩු කිරීමට මින් බලපෑමක් ඇතිවේ. ක්ෂය රෝග මරණ වැළැක්වීමට නම් රෝග ලක්‍ෂණ හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුවේ. අදාළ මධ්‍යස්ථානවලට ගොස් සෞඛ්‍ය පරීක්ෂණ කරගත යුතුවේ. ක්ෂය රෝගය යනු සිරුරේ ප්‍රතිශක්ති අඩුවීමත් සමඟ මතුවන රෝගී තත්ත්වයකි. නිදන්ගත රෝග සමඟ එන ක්ෂය රෝගීන්ගේ එම තත්ත්වයන් පාලනය නොකළහොත් ප්‍රතිශක්තිය අඩු නිසා රෝගීන් මිය යෑමට ඇති ඉඩකඩ වැඩිවේ. මේ නිසා නිදන්ගත රෝග ක්‍රමානුකූලව පාලනය කළ යුතුවේ.

ක්ෂය රෝගීන් 4700ක් පමණ නිදැල්ලේ සිටියි. මොවුන්ගෙන් සියයට 50ක් පමණ සෙමවල විෂබීජ ඇති පෙණහලුගත ක්ෂය රෝගීන් වේ. මේ රෝගීන්ගෙන් එක අයකුට නිරෝගී පුද්ගලයින් 10 - 15ත් අතර ප්‍රමාණයකට රෝගය බෝ කළ හැකියි. ඔවුන්ගේ සිරුරු තුළ ක්ෂය රෝග විෂබීජය ඇතුළු වී තිබේ. මොවුන් ක්ෂය රෝග ආසාදිතයින්ය. මේ විෂබීජය ඇතුළු වූ කෙනකුට ක්ෂය රෝගය වැලඳීමට සියයට 10ක පමණ අවදානමක් ඇත.

 

ළමා ක්ෂය රෝගීන්

අවුරුදු 0ත් 14ත් අතර වයසේ පසුවන මොවුන් බොහෝවිට නිදැල්ලේ හැසිරෙන මඟහැරෙන ක්ෂය රෝගීන් කාණ්ඩයට වැටේ. එය සියයට 10 - 15 අතර ප්‍රමාණයකි. ඔවුන්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණවලට වඩා වෙනස් වේ. සෙම සාම්පලයක පවා ක්ෂය රෝග විෂබීජය ඇත්තේ අඩු වශයෙනි.

* නියමිත පරිදි බර වැඩි නොවේ නම්

* තිබෙන බර අඩුවේ නම්

* කෑම අරුචියක් ඇත්නම්

* ප්‍රතිජීවක ඖෂධ ගත්තත් සුව නොවන

නියුමෝනියා තත්ත්වය ඇත්නම්

* සාමාන්‍ය ඖෂධවලින් ඇදුම හතිය ගතිය

සුව නොවේ නම්

* දරුවන්ගේ ක්‍රියාශීලී බව අඩුවේ නම්

* සතියකට වඩා පවතින උණ

මේවා දරුවන්ට ක්ෂය රෝගය ඇතිවීමේ ලක්ෂණ විය හැකියි.

 

වයෝවෘධ ක්ෂය රෝගීන්

මේ අවුරුදු හැටපහට වැඩි අයයි. මොවුන් බොහෝවිට නිවෙස්වලටම වී සිටින අයයි.

මේ අය නිවෙසින්, සමාජයෙන් පිහිටක් නැති අය වීමට පුළුවනි. මොවුනට ප්‍රතිකාර ලැබෙන්නේ අඩු වශයෙන් වීමටද පුළුවනි. මොවුන්ගෙන් අනික් අයට රෝගය පැතිරුණු පසු ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණීමෙන් ක්ෂය රෝගය ඇති බව තහවුරු වේ. එසේ තහවුරු වීමෙන් පසුව නිවෙසේ සිටින සෙසු අය ගැන සොයාබලද්දී වයෝවෘද්ධ පුද්ගලයන්ට ක්ෂය රෝගය වැලඳී තිබිය හැකියි. වයෝවෘද්ධ පුද්ගලයින් නිදැල්ලේ සිටින අය බවට පත්වන්නේ ඒ අනුවයි.

 

වැඩිහිටි පුද්ගලයින්

මේ සඳහා අයත් වන්නේ අවුරුදු 45 -64 වයසේ පසුවන්නන්ය. මොවුන් සියයට 41ක් පමණ වේ. සංඛ්‍යාත්මකව ගත් විට 2000ක පමණ පිරිසකි. මොවුන්ගෙන් වැඩි පිරිස පිරිමි අයයි. මේ පිරිස බොහෝ විට රෝග ලක්ෂණ මැඬගෙන එදිනෙදා කටයුතුවල යෙදෙයි. එසේම රෝග ලක්ෂණ හා ඒවා වැළැක්වීම පිළිබඳව එතරම් කරුණු කාරණා නොදැන ඉන්නට ද පුළුවනි. පෙර කීවාක් මෙන් සිගරට් බීම, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින නිසා රෝග නිරීක්ෂණයන් සඳහා යොමුවීමට මැලි වේ.

මේ වයස්වල සිටින අයගෙන් ක්ෂය රෝගීන් සමීපතයින් ලෙස ඇසුරු කරන පිරිස සියයට 10කි. ක්ෂය රෝගීන්ගෙන් සියයට 20ක් දියවැඩියා රෝගයෙන් පෙළෙයි. සියයට 34ක් එකක් හෝ ඊට වැඩි නිදන්ගත රෝග ප්‍රමාණයකින් පෙළෙන අයයි. සියයට 24ක් ශරීර ස්කන්ධ දර්ශකය(BMI අගය) නියමිත ප්‍රමාණයේ නොමැති අයයි. සියයට 25ක් මත්පැන් පානය කරන අයයි. සියයට 26ක් දුම්වැටි උරන අයයි. මේ සියලු දෙනා හඳුනා ගැනීම අතිශය වැදගත් වේ. නිදැල්ලේ සිටින ක්ෂය රෝගීන් සොයාගත හැකි වන්නේ ඒ අනුවයි.

සැක සහිත ක්ෂය රෝගියෙක් ලෙස හඳුනාගන්නේ

* සති දෙකකට වඩා කැස්ස පවතින අය

* කෑම අරුචිය

* සවස් කාලයේ උණ ගැනීම

* රාත්‍රී කාලයේ අධිකව දහඩිය දැමීම

* බර අඩුවීම

* හුස්ම ගැනීම අපහසු බව

* සෙම සමඟ රුධිරය පිටවීම

මේ සියලුම ලක්ෂණ එකම රෝගියෙකුට නොතිබිය හැකියි. මේ ලක්ෂණ එකක් දෙකක් තිබෙන අය ක්ෂය රෝගීන් නොවෙන්නට ද පුළුවනි.

ප්‍රධානම ක්ෂය රෝග ලක්ෂණය ලෙස ගැනෙන්නේ සති දෙකකට වඩා පවතින කැස්සයි.හිසකෙස් සහ නිය හැර ශරීරයේ සෙසු ඕනෑම අවයවයක ක්ෂය රෝග ලක්ෂණ තිබිය හැකියි.

පෙණහලුගත ක්ෂය රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන් පසු පළමු සති දෙක ඇතුළත තවත් අයකුට රෝගය බෝ වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුවේ. එහෙත් රෝගියාගේ සිරුරේ තවමත් විෂබීජය එලෙසම පවතී. ක්ෂය රෝගය ඇති ස්ථානය අනුව දිගින් දිගටම ප්‍රතිකාර කරයි. ළය චිකිත්සාගාරවලින් නොමිලයේත්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන්ද මේ සඳහා ප්‍රතිකාර ලබා ගත හැකියි.

ක්ෂය රෝගීන්ට වඩා ක්ෂය රෝග බැක්ටීරියාකාරකයින් අප අතර බහුතරයක් සිටි. ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩු විට බැක්ටීරියාව ඉස්මතු වේ. ක්ෂය රෝග බැක්ටීරියාව ශරීරගත වූවන් අතුරින් සියයට දහයක් පමණ ක්ෂය රෝගීන් බවට පත්වේ. ක්ෂය රෝගීන් බවට පත්වන්නට පෙර බැක්ටීරියාව ශරීරගත වූවන් ඒ සඳහා ප්‍රතිකාර කර සුව වීම අතිශය වැදගත් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේ කරන ලද නිරීක්ෂණයන්ට අනුව ක්ෂය රෝග බැක්ටීරියාකාරකයින් ලෝක ජනගහණයෙන් සියයට 23ක් පමණ වේ. දකුණු ආසියාතික කලාපයේ මෙම අවධානම වඩාත් වැඩි අතර එය සියයට 30ක් පමණ වේ.

ක්ෂය රෝග නිවාරණ ප්‍රතිකාර ලබාදෙන පිරිස්

පෙණහලු ආශ්‍රිත ක්ෂය රෝග තත්ත්ව ඇති අය කෙරෙහිත්, එච්. අයි. වී. වයිරසය ආසාදිත වූවන් කෙරෙහිත් වැඩි අවධානමක් පවතී. ඔවුන් ක්ෂය රෝගීන් බවට පත්වීමටත්,ක්ෂය රෝගයෙන් මිය යන්නටත් ඇති ඉඩකඩ වැඩිවේ. මොවුන්ගේ සමීපතයන්ට ක්ෂය රෝග නිවාරණ ප්‍රතිකාර ලබාදීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි.

මීට අමතරව ප්‍රතිශක්තිය අඩු අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. ආතරයිටිස් රෝගීන් ද මේ ගණයට වැටේ. වකුගඩු ආශ්‍රිත රෝගීන් (කාන්දු පෙරන අය),

අවයව බද්ධ කළ අය කෙරෙහිද රෝග නිවාරණයේදී වැඩි වශයෙන් සලකා බලයි.

නිදැල්ලේ සිටින රෝගීන් පිළිබඳ කෙරෙන අවධාරණයෙන් ක්ෂය රෝගය වළක්වාලමින් රෝගය තුරන් කළ රටක් බවට පත්කිරීම ඒකායන අරමුණයි.

 

 

උපදෙස් :

ජාතික ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය

සායා කාදර්