වර්ෂ 2024 ක්වූ December 16 වැනිදා Monday
මේ ඩෙංගු මාරයාගේ හෝරාවයි
ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම් වැසි තත්ත්වයේ සක්‍රිය වීමත් සමඟ ඩෙංගු රෝගී තත්ත්වය ඉතාමත් වේගයෙන් හිස එසවීමට පටන් ගෙන ඇත. පසුගිය වසර කිහිපයක ඩෙංගු රෝග තත්ත්වයේ ව්‍යාප්තිය පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී මේ කාලය තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ අවදානමක් තිබේ.
මෙහිදී දරුවන්ට ඩෙංගු රෝගී තත්ත්වය වැලඳී ඇති බවට නිරීක්ෂණය කළ හැකි රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යුතු වේ. විශේෂයෙන්ම පළමුව දින තුන හතරක කාලය තුළ අධික උණ තත්ත්වය, හිසරදය, ඇස් වටේ වේදනාව සහ වමනය වැනි රෝග ලක්ෂණ දැකගත හැකි වේ. සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් නොකරන බැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබේ දරුවාගෙන් නිරීක්ෂණය වුවහොත් වෛද්‍යවරයකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යාම වඩාත් යෝග්‍ය වේ.
මූලික පරීක්ෂණ සහ ප්‍රතිකාර
ඉහත සඳහන් රෝග ලක්ෂණ දුටු විට පැය 48ක කාලයක් තුළ ඩෙංගු ඇන්ටිජන් හෝ Full Blood Count පරීක්ෂණයක් මඟින් ඩෙංගු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ විස්තරයක් ලබා ගැනීමේ හැකියාව තිබේ. මෙහිදී රුධිරයේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුවහොත් දරුවා අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු වේ. එහිදී වෛද්‍යවරයා විසින් දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර රෝහල්ගතවී හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයකට යොමු කරනු ඇත. විශේෂයෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ ඩෙංගු රක්තපාත හෝ රුධිරයේ ප්ලේට්ලට් සංඛ්‍යාව නියමිත ප්‍රමාණය අඩු දරුවන් පමණි.
රෝහල්ගත කරනු ලබන දරුවන්ගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් විවිධ රුධිර පරීක්ෂණ සහ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ ආදිය තුළින් දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණයක නිරත වෙයි.
නිවෙස්ගතව ප්‍රතිකාර ලබා දීමේදී
නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබා දීම මෙන්ම නියමිත ප්‍රමාණයට දියර වර්ග ලබා දීම වැදගත් කරුණකි. එමෙන්ම දරුවා මූත්‍රා පිට කිරීමේ වාර ගණන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් අනිවාර්යෙන් සිදුවිය යුතුයි. කිසිම විටෙක වෛද්‍ය අනුමැතියකින් තොරව අධික උණ තත්ත්වයන්ට ලබා දෙන වෙනත් බෙහෙත් වර්ග ලබා නොදීමට වග බලා ගැනීම මෙන්ම දරුවන්ගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටීමත් වැදගත් වේ.
දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කරගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද
පළමුව ඔබේ නිවෙස අවට පරිසරය පවිත්‍රව තබාගත යුතු වෙයි. විශේෂයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම වැදගත් වේ. මීට අමතරව දරුවන් එළිමහනේ සෙල්ලම් කිරීමට යාමේදී අතපය වැසෙන ලෙස ඇඳුම් ඇන්දවීම, මදුරු විකර්ෂක උපකරණ භාවිත කිරීම ආදී ආරක්ෂක ක්‍රමවේද භාවිත කළ හැකියි.
ඩෙංගු රෝගය සම්බන්ධව නිවෙස්ගතව ප්‍රතිකාර ඇතුළු නොමිලේ උපදේශන සේවාවන් ලබා ගැනීමට රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්ද සැදී පැහැදී සිටියි.
උපදෙස්:
ළමා රෝග
විශේෂඥ වෛද්‍ය
දිලූෂා චාමිනී අතුකෝරළ