ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරගත් මිල මුදල් යොදවා තනන සොඳුරු කැදල්ල සුවපහසු බවින් මෙන්ම සුන්දරත්වයෙන් පුරවාලන්නට අපි කවුරුත් ඉතා කැමැත්තෙමු. විවිධාකාරයේ පුංචි පුංචි විසිතුරු දෑ යොදාගෙන නිවෙස සේම ගෙමිදුල හැඩ වැඩ කරගන්නට අපේ ගෘහිණියන් දක්වන්නේ මනා දක්ෂතාවකි. ඒ සඳහා ඔවුනට අවශ්‍ය වන්නේ ඉතා සරල අඩුම කුඩුම කිහිපයක් පමණි.
ඔබ මේ දකින්නේ එලෙස සකසාගත් සරල එහෙත් ඉතාමත් දැකුම්කලු නිර්මාණ කිහිපයකි. මේ සඳහා යොදාගෙන ඇත්තේ භාවිතයෙන් ඉවතලන විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ හිස් බෝතල්, ටින් සහ හැඳි කිහිපයක් පමණි. විශේෂයෙන්ම මුළුතැන්ගෙයින් ඉවතලන දේවල් අතරේ ඇති මෙවැනි නොදිරන හිස් බඳුන් බොහෝ දෙනකුට මහත් හිසරදයක් බව නොරහසකි. ඒවායින් මෙලෙස නිවෙස සහ ගෙවත්ත සරසන හරි අපූරු නිර්මාණ බවට පත් කරගන්නට හැකිනම් එය කදිම ආයෝජනයකි.
මෙලෙස ඉවත දමන බඳුන් පින්සලයක් සහ වර්ණ කීපයක තීන්ත ඔබට අවශ්‍ය වේ. ඊට අමතරව වියළා ගත් මල්, කොළ, පොහොට්ටු, විවිධ වර්ණයේ ඉටිපන්දම්, කොහු ලණු, සිප්පි කටු, පබළු, රිබන්, නැවුම් මල්, විදුලි පහන් ආදිය උපයෝගි කරගෙන මේ නිර්මාණ වඩාත් සුන්දර කරගත හැකියි. කාලයේ තාලයට අලුතින් සිතන, කලාත්මක අදහස්වලින් පිරුණු නිර්මාණශීලී ඔබට මේ නිර්මාණ කදිම ආදායමක් උපයා ගත හැකි ස්වයං රැකියාවක් ද වේවි.
TEXT – චම්පා වරුසප්පෙරුම
