Saturday, February 14, 2026
Epaper
Home Highlightsප්‍රසූතියෙන් පසු මවකට ඇතිවන මානසික විපර්යාස පිළිබඳ ඔබ දැනුවත්ද?

ප්‍රසූතියෙන් පසු මවකට ඇතිවන මානසික විපර්යාස පිළිබඳ ඔබ දැනුවත්ද?

by Shanaka Lakehouse

​”මාතෘත්වය යනු ලොව සුන්දරම ප්‍රාතිහාර්යය වුවද, ඇතැම් විට එය මවකගේ ජීවිතය අඳුරු පවුරකින් වට කරන අසීරු මාවතක් විය හැකිය. දස මසක් කුස දැරූ බිලිිඳාගේ මුමුණන හඬට සිනහවකින් පිළිතුරු දිය යුතු මවකගේ දෑසින් නොකඩවා කඳුළු ගලා යන්නේ ඇයි? සමාජය සැමවිටම මවකගේ කායික සුවය ගැන විමසිලිමත් වුවත්, ඇගේ හදවත ඇතුළත සිදුවන ‘හෝමෝන ක්‍රියාකාරිත්වය’ සහ මානසික පීඩනය පිළිබඳව කතා කරන්නේ ඉතා අඩුවෙනි.

පශ්චාත් ප්‍රසව අවධියේදී මවකගේ ලෝකය උඩුයටිකුරු කරන මෙම නිහඬ අරගලය හඳුනාගැනීමත්, ඇයට නිසි රැකවරණය ලබා දීමත් හුදෙක් පවුලේ වගකීමක් නොව, නීරෝගි පරපුරක් උදෙසා සමාජය සතු යුතුකමකි. අද අපේ කතාබහ ඒ මානුෂීය මෙහෙවර උදෙසායි. මාතෘත්වය යනු කාන්තාවකගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එහෙත් එම සුන්දර අත්දැකීම යට සැඟවුණු කායික හා මානසික අභියෝග රාශියක් පවතී.

ගර්භිණී සමයේ සාමාන්‍ය ලක්ෂණ මොනවාද?

​ ගර්භිණීභාවය ආරම්භයේදීම කාන්තාවකගේ සිරුරේ හෝමෝන මට්ටම් සීග්‍රයෙන් ඉහළ යයි. මෙහි වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔසප් චක්‍රය නතර වීමයි. මීට අමතරව, ‘Morning Sickness’ ලෙස හඳුන්වන උදෑසන කාලයේ ඇතිවන ඔක්කාරය සහ වමනය බොහෝ දෙනෙකුට පොදුය. සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඉහළ යාම නිසා අධික විඩාව සහ නිදිමත ගතිය ඇතිවේ. පියයුරුවල මෘදු බවක් හෝ තද ගතියක් දැනීම මෙන්ම නිතර නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී ඇතිවන සාමාන්‍ය කායික වෙනස්කම් වේ. ඇතැම් මවුවරුන්ට ආහාර රුචියේ ක්ෂණික වෙනස්කම් (ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හෝ අප්‍රියතාවක්) ඇතිවීම මෙහි තවත් එක් සාමාන්‍ය ලක්ෂණයකි.

ගර්භිණි දියවැඩියාව සහ Pre-eclampsia හඳුනා ගන්නේ කෙසේද?

​ මේවා ගර්භිණී සමයේදී මතුවිය හැකි බරපතළ තත්ත්වයන් දෙකකි. Gestational Diabetes හෙවත් ගර්භිණී සමයේ දියවැඩියාව සාමාන්‍යයෙන් ලක්ෂණ පිටතට නොපෙන්විය හැකි බැවින් රුධිර පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, අධික පිපාසය, සාමාන්‍යයට වඩා වැඩි වාර ගණනක් මූත්‍රා පිටවීම සහ තුවාල සුව වීමට ප්‍රමාද වීම වැනි ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

එසේම ​Pre-eclampsia හෙවත් ගර්භිණී සමයේ අධික රුධිර පීඩනය යනු මවට මෙන්ම දරුවාටත් මාරාන්තික විය හැකි තත්ත්වයකි. මෙය හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ වන්නේ සිරුරේ (විශේෂයෙන් මුහුණ, අත් සහ පාද) හදිසි ඉදිමීම, දැඩි හිසරදය, පෙනීම බොඳ වීම හෝ ඇස් ඉදිරිපිට තිත් පෙනීම සහ උදරයේ ඉහළ දකුණු පස ඇතිවන දැඩි වේදනාවයි. මීට අමතර මූත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීම මෙහි රසායනාගාර ලක්ෂණයකි.

​ගර්භිණි සමයේ මානසික ආතතියට හේතු මොනවාද?

​ ගර්භිණී සමයේදී මවකගේ මනස අතිශය සංවේදී වේ. මීට මූලිකවම බලපාන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වයයි. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් වෙනස් වීම නිසා චිත්තවේගයන් පාලනය කිරීම අපහසු වේ. මීට අමතරව, දරුවාගේ සෞඛ්‍යය පිළිබඳව පවතින අනියත බිය, ප්‍රසූතියේදී සිදුවිය හැකි වේදනාව පිළිබඳ බිය සහ ඉදිරි වගකීම් පිළිබඳව ඇතිවන පීඩනය ආතතියට හේතු වේ. පවුල් පරිසරය තුළ සහයෝගය මදි වීම, ස්වාමිපුරුෂයා සමඟ පවතින ගැටලු සහ ආර්ථික අපහසුතා ද මවගේ මානසික සෞඛ්‍යයට සෘජුවම බලපාන සමාජීය සාධක වේ.

Postpartum Depression (PPD) යනු කුමක්ද හා එය හඳුනා ගන්නේ කෙසේද?

ප්‍රසූතියෙන් පසු බොහෝ මවුවරුන්ට ඇතිවන තාවකාලික කනගාටුව සති දෙකකින් පමණ පහව යයි. එහෙත් Postpartum Depression හෙවත් පශ්චාත් ප්‍රසව විෂාදය යනු ඊට වඩා බරපතළ, දීර්ඝකාලීන රෝගී තත්ත්වයකි.

එය හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් නම්,

* ​දිගින් දිගටම පවතින දැඩි කනගාටුව සහ නිතර හැඬීම.

* ​දරුවා සමඟ මානසික බැඳීමක් ඇති කර ගැනීමට නොහැකි වීම හෝ දරුවා කෙරෙහි අකැමැත්තක් දැනීම.

​ * පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් වෙන්වී හුදකලා වීමට උත්සාහ කිරීම.

​ * නින්ද නොයාම හෝ අධික ලෙස නිදාගැනීම.

​ * තමා අසාර්ථක මවකැයි සිතමින් දැඩි ලෙස අසරණ බවක් දැනීම.

​ * බරපතළ අවස්ථාවලදී තමාට හෝ දරුවාට හානි කර ගැනීමට සිතුවිලි ඇති වීම.

ප්‍රසූතියෙන් පසු මතුවන පොදු ශාරීරික හා මානසික ගැටලු මොනවාද?

ශාරීරිකව ගත් කල, ප්‍රසූතියෙන් පසු සිරුර දැඩි වෙහෙසට පත්වේ. අධික රුධිර වහනය, මැහුම් පවතින ස්ථානවල වේදනාව, මවුකිරි දීමේදී පියයුරුවල ඇතිවන වේදනාව සහ මලබද්ධය වැනි ගැටලු මතු වේ. හෝමෝන මට්ටම් ක්ෂණිකව පහත වැටීම නිසා ශරීරයේ අභ්‍යන්තර සමතුලිතතාවය බිඳ වැටේ.

මානසිකව, “මගේ නිදහස අහිමි විය” යන හැඟීම, ශරීරයේ ස්වරූපය වෙනස් වීම නිසා ඇතිවන අවතක්සේරුව සහ අධික තෙහෙට්ටුව නිසා ඇතිවන අසහනය ප්‍රධාන වේ. මේ නිසා මව නිතර කෝපයට පත්වීම හෝ ව්‍යාකූල තත්ත්වයකට පත්වීම සිදුවිය හැකිය.

පශ්චාත් ප්‍රසව මවුවරුන්ට දෙන වෛද්‍ය උපදෙස් මොනවාද?

​ ප්‍රධානම උපදේශය වන්නේ “විවේකය” යන්නයි. දරුවා නිදාගන්නා සෑම අවස්ථාවකම මවද විවේක ගත යුතුය. පෝෂණය අතින් යකඩ, ප්‍රෝටීන් සහ කැල්සියම් බහුල සමබර ආහාර වේලක් ලබා ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත් අත්‍යවශ්‍ය වේ. තමාට යම් මානසික අපහසුවක් දැනේ නම් එය සඟවා නොගෙන වහාම වෛද්‍යවරයකුට හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පැවසිය යුතුය. තවද, වෛද්‍යවරයා නිර්දේශ කළ විටමින් වර්ග අඛණ්ඩව ලබා ගැනීම ශාරීරික ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරී වේ.

පවුලේ සහයෝගය මෙහිදී කොතරම් වැදගත්ද?

​ පවුලේ සහයෝගය යනු පශ්චාත් ප්‍රසව අවධියේ පවතින හොඳම ඖෂධයයි. විශේෂයෙන්ම ස්වාමිපුරුෂයාගේ භූමිකාව තීරණාත්මකයි. දරුවා නැළවීම, රෙදි සේදීම සහ නි‍ෙවසේ වැඩකටයුතු වලට සහය වීම මඟින් මවට ලැබෙන කායික විවේකය ඇගේ මානසික සුවයට සෘජුවම බලපායි. මවගේ චිත්තවේගී වෙනස්කම් දෙස දොස් පවරන සුළු ස්වභාවයෙන් නොව, කරුණාවෙන් සහ ඉවසීමෙන් බැලීමට පවුලේ අය පුරුදු විය යුතුය. ඇයට තනිවී නැති බවත්, සැමවිටම තමා පිටුපස පවුල සිටින බවත් දැනීම ඇයව මානසික අවපාතයෙන් මුදා ගනී.

 

යෝග, භාවනා සහ උපදේශනය ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

​ මෙම ක්‍රමවේද තුනම මානසික සහ ශාරීරික සුවතාවය නංවාලීමට බෙහෙවින් උපකාරී වේ.

* ​යෝග : ප්‍රසූතියෙන් පසු සිරුරේ නම්‍යශීලීභාවය ඇති කිරීමටත්, මාංසපේශිවල පවතින ආතතිය දුරු කිරීමටත් උපකාරී වේ.

​ * භාවනාව : සිතේ ඇතිවන නොසන්සුන්කාරී සිතුවිලි පාලනය කිරීමටත්, හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන කෝපය සහ බිය පාලනය කිරීමටත් මනස පුහුණු කරයි.

​ * උපදේශනය : තමාට පාලනය කරගත නොහැකි මානසික පීඩනයක් දැනෙන විට වෘත්තීය උපදේශනයක් ලබා ගැනීම හරහා තමාගේ හැඟීම් කළමනාකරණය කරගන්නා ආකාරය ඉගෙන ගත හැකිය. මෙය මවට තමා පිළිබඳව තිබෙන විශ්වාසය නැවත ඇති කිරීමට මහඟු පිටුවහලකි.

​මානසික ගැටලු හඳුනා නොගැනීමෙන් සිදුවිය හැකි හානිය කුමක්ද?

මෙය ඉතා අවදානම් සහගතය. මවගේ මානසික රෝගය හඳුනා නොගත්තහොත් එය Postpartum Psychosis වැනි උමතු තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකියි. මෙහිදී මවට දරුවා තමාගේ නොවන බව හැඟීම හෝ දරුවාට හානි කිරීමේ සිතුවිලි ඇතිවිය හැකිය. එසේම, මවගේ මානසික අසහනය නිසා දරුවාට නිසි ලෙස මවුකිරි නොලැබීම සහ රැකවරණය නොලැබීම නිසා දරුවාගේ වර්ධනය බාල වේ. මව සහ ස්වාමිපුරුෂයා අතර ඇතිවන ගැටුම් දික්කසාදය දක්වා දුරදිග යාමටත්, මව සියදිවි නසා ගැනීමට පෙළඹීමටත් මෙවැනි නොසලකා හැරීම් හේතු විය හැකිය.

කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ මානසික ආරක්ෂාව රැක ගැනීමේ වැදගත්කම කුමක්ද?

කාන්තාව යනු පවුලක ජීවගුණයයි. ඇය මානසිකව වැටුණු විට මුළු පවුල් ඒකකයම බිඳ වැටේ. දරුවකුගේ පෞරුෂය සහ අනාගතය තීරණය වන්නේ මවගේ මානසික සෞඛ්‍යය මතය. නීරෝගි මවක් යනු රටකට වටිනා සම්පතකි. එබැවින් කාන්තාවකගේ සෞඛ්‍යය රැක ගැනීම යනු හුදෙක් එක් අයෙකුගේ පුද්ගලික අවශ්‍යතාවක් නොව, නීරෝගි සහ සදාචාර සම්පන්න සමාජයක් බිහි කිරීමේ මූලික පදනමයි. ඇයට ආදරය, ගෞරවය සහ ආරක්ෂාව ලබා දීම මුළු මහත් සමාජයේම වගකීමකි.

ප්‍රසූතියෙන් පසු ඇතිවන මානසික විපර්යාස සාමාන්‍ය, හඳුනාගත හැකි සහ ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන් වේ. නිසි අවධානය, දැනුවත්භාවය සහ මනෝවිද්‍යාත්මක සහාය මඟින් මවගේත්, දරුවාගේත් සුවතාව රැකගත හැකිය.

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?