පේපර් ක්විලින් ක්‍රමයට ෆීනික්ස් කුරුල්ලෙක්

ජූලි 3, 2023

"ජීවිතයේ අසීරුතම කාලවල දී ෆීනික්ස් පක්ෂියකු ලෙස නැඟී සිටිය යුතුයි. ශක්තිමත් විය යුතුයි." කියන උපදේශාත්මක කියමන ඔබත් අසා ඇති. නොසැලෙන ශක්තියක් හිමි මේ ෆීනික්ස් පක්ෂියා තේමා කරගත් බිත්ති සැරසිලිවලට ද ඇත්තේ ලොකු ඉල්ලුමකි.

 

ග්‍රීක හා ඊජිප්තු ඉතිහාසයන්වල පුරාවෘත්තයක් ලෙස සැලකෙන ෆීනික්ස් පක්ෂියා සූර්යා වෙත පියඹන විට ඒ හිරු රශ්මියෙන් ගිනිගෙන දැවී නැවත ඒ අළු මතින් උපදින බව පැවසේ.

ෆීනික්ස් කුරුල්ලාගේ පුරාවෘත්තයේ දළ වශයෙන් මීටර් 1 1/2ක් පමණ උස කුරුල්ලකු ගැන කතා කරයි. සිහින් කකුල් සහිත රාජාලියකුට සමාන, ආකර්ෂණීය පියාපත් ඇති, නැඟී එන හිරුට හා ගින්නට සම්බන්ධ වර්ණ සමඟ රතු, දම් සහ කහ පැහැති වර්ණයන්ගෙන් මේ පක්ෂියා අලංකාර වී ඇත. ගෙල වටා දීප්තිමත් පිහාටු ඇති අතර ශරීරයේ ඉතිරි කොටස දම් පැහැතිය. වලිගය හැර නිල් පැහැයෙන් යුක්ත දිගු රෝස පැහැති පිහාටුවලින් සහිතය.

ඉතිං ෙම් ්ලංකාර ෆීනික්ස් පක්ෂියාව පේපර් ක්විලින් ක්‍රමයට සකසා ඔබේ විසිත්ත කාමරය හැඩ කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
  

පේපර් ශේඩරය

ක්විලින් ටූල් එක

ගම්

කතුරක්

A3 සුදු බෝඩ් එකක්

රතු, තැඹිලි, කහ, තද කහ සහ මෙරුන් වර්ණවලින් A4 කොළ කිහිපයක්

නිර්මාණය කරන්නේ මෙහෙමයි
 

පළමුව A4 සුදු බෝඩ් එක මත මෙම කුරුල්ලාගේ හැඩය පැන්සලක් ආධාරයෙන් පිටපත් කරගන්න. ඉන්පසු රූපයේ පෙන්වා ඇති ආකාරයට අවශ්‍ය වර්ණවලින් පේපර් ශේඩරය මඟින්  A4 පටි 1/8ක කපා ගන්න. ඉන්පසු ඇඳගත් කුරුල්ලාගේ හිස සහ ඇඟ නිර්මාණය කිරීම සඳහා පින්තූරයේ පෙනෙන ආකාරයට වර්ණ කිහිපයෙන්ම 1/8ක පටි ගෙන එකට තබා අතින් රවුම් හැඩය එන පරිදි සකස්කර අලවා ගන්න. අලවා ගැනීමේදී සෑම කොටසක්ම පටි උඩ අතට සිටින ලෙස අලවා ගන්න අමතක නොකරන්න. නැවත එම පටි කොටස් ටිකම කුරුල්ලාගේ ඇඟේ හැඩය මතුවන ආකාරයට රූපයේ දැක්වෙන පරිදි අලවා ගන්න. හොටයත් ත්‍රිමාණව පෙනෙන ලෙස අලවා ගන්න. හිසෙහි උඩ තිබෙන කොටස් ද වෙන වෙනම සකසා අලවා ගන්න. නැවත එක දිගට එම පටි කොටස් ටිකම පහතට ගෙන කුරුල්ලාගේ ඇඟ කොටස ද අලවා ගන්න. ඇඟෙන්ම එන දෙපස පිහාටු කොටස් ද එවැනිම ආකාරයට උඩ අතට අලවා එහි ඇතුළත කොටස් වී හැඩය එන පරිදි අතින් නමා හැඩකර ඇතුළතින් තරමක් ඈත් වී තිබෙන ආකාරයට උඩ අතට අලවා ගන්න.

පසුව කුරුල්ලාගේ උඩ දෙපස පිහාටු දෙක වර්ණ කිහිපයකින්ම 1/8ක පටි කොටස් ගෙන පෙනෙන ලෙස අතින් හැඩකර සියල්ල සාදා අලවාගන්න. අලවා ගැනීමේදී පින්තූරය මතම හැඩකර අලවාගැනීමට හැකි නම් ඉතාම පහසුවෙන් අලවා ගත හැකියි. මෙම කොටස් නිර්මාණයේදී පටි කොටස් දෙක තුනක් එකට තබා අලවාගැනීමෙන් මෙය ඉතා ශක්තිමත් ලෙස නිර්මාණය කර ගත හැකියි.

කුරුල්ලාගේ යට කොටස ද එවැනිම ආකාරයට නිර්මාණය කර ගන්න. එහි වටේ තිබෙන රවුම් කොටස් පොඩි පොඩි ටයිට් රෝල් සාදා අදාළ තැන්වට පෙනෙන ආකාරයට අලවාගන්න. වටේ තිබෙන අනෙකුත් කොටස් ද පටි කොටස් කීපයක් තබා උඩින් රවුම් හැඩය අතින් සකසා තැනින් තැන අලවා ගන්න.

මෙම කුරුල්ලා නිර්මාණය කිරීමේදී එහි අලංකාර බව ඉස්මතු කරගැනීම සඳහා වර්ණ කීපයකින් පටි කොටස් එකට තබා භාවිතකර අලවා ඇත. මෙහි හැඩතල සකසා ගැනීම සඳහා ඔබට ටුවිසර් එකක් භාවිත කළ හැකිනම් ඉතා පහසු වේ.

 

උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී චූලනි ජයසිංහ