කහ කිරිල්ලියක් වාගේ පියඹා යමු ආකාසේ

අගෝස්තු 21, 2023

කහ කිරිල්ලියක් වාගේ නීල ආකාසේ පියාඹන්න මෙන්න අපූරු අවස්ථාවක්.

යෙහෙළියන් අතර කැපිලා පේන්න කදිමයි.

මේ දවස්වල විලාසිතාව වන්නේත් තරමක් ලොකුවට ඇඳුම් ඇඳ පැලඳගෙන යාමයි.

ඒ සුන්දරත්වය අත්විඳින්න කැමති ඔබටයි මේ ඇඳුම් විලාසිතාව.

 

* උරහිස අඟල් 16 1/2

* කර වට අඟල් 13

* උස අඟල් 26

* පපුව වට අඟල් 36

* උකුළ වට 37

* අත උස අඟල් 12

* කැප් උස අඟල් 5

* අත අගවට අඟල් 15

* පතරොමේ අත්කට අඟල් 12

මෙම ටී ෂර්ට් එක ඇඟේ මිම්මට වඩා මඳක් බුරුලට ගෙන ඇත. මිමි ගැනීමේදී බුරුලට මැනගන්න. ඉදිරිපස නැම්මට නවා ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4 ක් පහත්කර A ලක්ෂ්‍යට යා කරන්න. එය AC වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AFවේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JKවේ.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කපාගන්න.

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය ABවේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න.

එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම්වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න.

අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදන්න. එම පිළිතුරට මැහුම්වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BE වේ. ED යා කරන්න.

 

* උරහිස මසන්න.

* කරට බයස් පටියක් අල්ලා ගන්න.

* අත අල්ලා අංශය මසන්න.

* වාටිය මසන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී දිලූෂි දසනායක