අඩු කාල වේලාවකින් මසා ගන්න මෙන්න අත් රහිත බ්ලවුසයක්

සැප්තැම්බර් 25, 2023

 

යොවුන්වියේ පසුවන ඔබ විලාසිතා කෙරෙහි ඇඳී යන්නේ නිතැතිනි.

සුපිරි වෙළෙඳසැලක එහෙමත් නැත්නම් online පේජ් එකක දුටු ඇඳුම් විලාසිතාවකින් සැරසෙන්න යෙහෙළියන් සමඟින් ඔබට ඇත්තේ අපූරු තරගයක් බව නොරහසකි. මෙන්න ඔබට ඒ ආසාව ඉටුකරගන්න කදිම අවස්ථාවක්. ඔබේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබේ දවසේ කාලයෙන් පුංචිම පුංචි වෙලාවක් වෙන්කරගෙන මේ බ්ලවුසය මසා ගන්න.

 

මේ සඳහා අවශ්‍ය මිම්:-

 

* උරහිස අඟල් 14 1/2

* කරවට අඟල් 14

* ඉණ දක්වා උස අඟල් 15

* උස අඟල් 24

* පපුවවට අඟල් 35

* ඉණවට අඟල් 30

* උකුළවට අඟල් 39

 

අත් රහිත බ්ලවුසය සඳහා ඕනෑම රෙදිවර්ගයක් තෝරා ගන්න. බ්ලවුසය සඳහා රෙදිමතම ඇඳ කපා ගත හැකියි.

 

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියේ සිට අඟල් 2 ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4

ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

 

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය J K වේ. GIK යාකර අංශය අදින්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

 

කොලරය

 

කොලරය සඳහා කොටස් දෙකකට භාවිතකර ඇත. බෑන්ඩ් කොටස සඳහා කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට දිග ද උස අඟල් 1ත් 1 1/2ත් අතර ගන්න. මුලින් ස්ටිෆ් හෝ පතරොමක් සාදා ගන්න. ඒ සඳහා නැම්මට නවා ගන්න. මැනගත් කරවට දෙකට බෙදා එම පිළිතුර හරහට ලකුණු කරන්න. එය ABවේ. B සිට අඟල් 1ක් පමණ ඉහළටකර කොලරයේ උස ලකුණුකර අග කොටස කවාකාරව අඳින්න. රෙදිකොටස කැපීමේදී මැහුම්වාසි තබා කොටස් 2ක් කපා ගන්න . කොලරයේ ඉහළ කොටස සඳහා රූපසටහනේ පරිදි ඇඳ එයද ස්ටිෆ්වලින් කපා පසුව මැහුම්වාසි තබා රෙදිකොටස් 2ක් කපා ගන්න.

 

පසුපස

 

පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගානට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න .

 

මෙන්න මෙහෙම මසා ගනිමු

 

* උරහිස මසන්න.

* අත පයිපින් හෝ පේශින් අල්ලා ගන්න.

* කොලරය මසා ඇඳුමට අල්ලා ගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

 

 

උපදෙස් -
මැහුම් නිර්මාණ ශිල්පිනී
දිලූෂි දසනායක