කෑම මේසයේ හැඩට මැට් එකක්

අගෝස්තු 5, 2024

ටේබල් මැට් එකක අවශ්‍යතාව ගෘහිණියකට අමුතුවෙන් කිවයුතු නොවේ. අමුත්තන්ට සංග්‍රහයක් පිළිගැන්වීමකින් අනතුරුව කෑම මේසය අස්පස් කිරීම හිතන තරම් ලෙහෙසිත් නැහැනේ. පිළිගැන්වූ ආහාර බඳුන්වල හොදි, ඉඳුල් වතුර හැමතැනම විසිරිලා. ඔන්න ඔය තත්ත්්වයෙන් මඟ හැරෙන්න කදිම විසඳුමකි ටේබල් මැට් එක. බලන්නකො වූල් ටේබල් මැට් එකක් ඔබත් මේ විදිහට නිර්මාණය කරගෙන.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* සුදු පාට වූල්

* ළානිල් පාට වූල්

* නිල් පාට වූල්

* මිලිමීටර් 3 වූල් කටුවක්

 

පළමුව මැජික් රින්ග් එකක් සාදා එයට තුන් පොට පිරවුම් දහයක් ගොතා රවුමක් නිර්මාණයකර ගන්න.

 

එහි දෙවැනි වටය නිර්මාණය කිරීමට රවුමේ සෑම සිදුරකටම තුන්පොට පිරවුම් දෙක බැගින් ගොතා රවුම අවසන් කරන්න.

 

තුන්වැනි වටය සඳහා පළමු සිදුරට තුන් පොට පිරවුමක්ද දෙවැනි සිදුරට තුන් පොට පිරවිලි දෙකක්ද ගොතාගන්න. මේ ආකාරයට රවුම අවසන්කර ගන්න.

 

හතරවැනි වටය සඳහා පළමුව තුන් පොට පිරවුමක්ද, ඊළඟ සිදුරටත් තුන් පොට පිරවුමක්ද, ඊළඟ සිදුරට තුන් පොට පිරවුම් දෙකක්ද ගොතා ගන්න.

 

පස්වැනි වටය සඳහා සෑම සිදුරකටම තුන් පොට පිරවිලි දෙක බැගින් ගොතාගන්න.

 

හයවැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් රවුම ගොතා ගන්න.

හත්වැනි වටේ සඳහා සෑම සිදුරකටම එක බැගින් තුන්පොට පිරවිලි ගොතා ගන්න.

අටවැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

 

නවවැනි වටය සඳහා පෙර රටාවම අනුගමනය කරන්න.

 

දහවැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි, තුන් පොට පිරවිලි එකයි, තුන් පොට පිරවිලි එකයි, තුන් පොට පිරවිලි දෙකයි යන රටාව අනුගමනයකර ගොතා ගන්න.

 

එකොළොස්වැනි වටය සඳහා සෑම සිදුරකටම තුන් පොට පිරවිලි එක බැගින් ගොතා ගන්න.

 

දොළොස් වැනි වටය සඳහාත් තුන් පොට පිරවිලි එක බැගින් රවුම අවසන්වන තෙක් ගොතා ගන්න.

 

දහතුන් වැනි වටය සඳහා තුන් පොට පිරවිලි එකයි, එකයි, එකයි, දෙකයි යන රටාව අනුගමනය කරන්න.

 

අවසානයේ මල් පෙති ආකාරයේ හැඩය නිර්මාණයකර ගැනීම සඳහා රවුමේ පළමු සිදුරට දෙපොට පිරවුම් දෙකක්ද, ඊළඟට තුන් පොට පිරවුමක්ද නැවත එම සිදුරටම දෙපොට පිරවුම් දෙකක්ද ගොතා ගන්න. මේ රවුමේ සෑම සිදුරකටම මේ රටාව අනුගමනය කරමින් ගොතා ගන්න.

 

මේ ආකාරයට ඔබට අවශ්‍ය වර්ණ යොදා ගනිමින් අලංකාර ටේබල් මැට් එකක් නිර්මාණයකර ගන්න.

 

 

උපදෙස් :-

අත්කම් නිර්මාණ ශිල්පිනි

තිළිණි මදුෂිකා ගුණතිලක