හැඩැති මංජුසාවලට ළබැඳි ඔබට

සැප්තැම්බර් 16, 2024

විවිධ වර්ගයේ ආභරණ වර්ග ගැහැනු පාර්ශ්වය අතර වගේම පිරිමි පාර්ශ්වය අතරත්  පැළදීමට දැන්  වැඩි කැමත්තක් දක්වනවා.

ඩෙසින් ටේබල් එක උඩ  ලස්සනට වගේම පිළිවෙළට ඔයාගෙ ආභරණ දාන්න පුළුවන් විදිහෙ ආභරණ මංජුසාවක් හදන විදිහ අපි අද අත්කම් පිටුවෙන් ඉගෙන ගනිමු. ඒත් එක්කම මේවා ඔබේ නිර්මාණශීලීත්වය අනුව විවිධ දේ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි. තේ පැන් සංග්‍රහයකට ලස්සනට මග් හැඩකර ගන්නත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වාතය වියළි මැටි

(මෙහිදී මැටි ලෙස අදහස් කරන්නේ පොලිමර් මැටි)

පිඟාන හැඩ කිරීමට බඳුනක්

මෝස්තර නිර්මාණය කිරීමට ස්ටෙන්සිල් කිහිපයක්

පිහිය

රෝලිං පින්

වැලි කඩදාසි

ඇක්‍රලික් තීන්ත හෝ තීන්ත පෑන් (විකල්ප)

 

පියවර 1

බඳුනක් සෑදීමට තරම් විශාල මැටි බෝලයක් ගෙන එය රෝලිං පින් එකෙන් පැතලි ලෙස රෝල් කරන්න.  බඳුන අච්චුවක් ලෙස භාවිතාකර පිහියකින් බඳුනේ දාර දිගේ කපන්න.

 

පියවර 2

ඔබට අවශ්‍ය මෝස්තරය ස්ටෙන්සිල් කරන්න. ඒ සඳහා ඔබට විවිධ මෝස්තර  සහ හැඩතල ඇති මෝල්ඩ් වර්ග, සිලිකන් මෝල්ඩ් වර්ග, කාඩ්බෝඩ්වල රැලි සහිත කොටස වැනි ඕනෑම ද්‍රව්‍ය භාවිතකර මැටි මත ගිල්වීම්කර  හැඩය ඉස්මතුකර නිර්මාණය කළ හැකිය.  තවද එය ඔබට වඩාත් පුද්ගලීකරණය කිරීම සඳහා, මෙම නිර්මාණය තෑගි කිරීමට යන පුද්ගලයාගේ නම වුවත් ඔබට ලිවීමට පුළුවන.

 

පියවර 3

 

ඔබ තෝරාගත් බඳුන මත සෙමින් මැටි තබා එය වියළීමට ඉඩ දෙන්න. සම්පූර්ණයෙන්ම වියළීමට දින හතරක් හෝ පහක් ගත වේ.  මැටි පිඟාන වියළී ගිය පසු එහි හැඩය ගනී.එබැවින් එය සම්පූර්ණයෙන්ම වියළීමට පෙර එය බඳුනෙන් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න.

 

ඔබ සැකසු බඳුන ගැළවීමේදී පිටතට ලෙහෙසියෙන් නොපැමිණියේ නම්, එය ඉවත් කිරීමට මැටි පිඟානේ දාර සහ බඳුන අතර මෘදු පිහියක් භාවිතකර සෙමින් බුරුල් කරන්න. එය ගළවාගත් පසු සාදාගත් පිඟානේ අක්‍රමවත් දාර සුමට කිරීමට වැලිකඩදාසියක් භාවිත කරන්න. ඉන්පසු රෙද්දකින් එය පිස දමන්න.  දැන් ඔබේ ප්‍රියතම වර්ණයෙන් පිඟාන තීන්ත ආලේප කරන්න.  පිඟානේ ඇතුළත රන් පැහැති තීන්ත ආලේපකර ගත හැකියි. එසේ කිරීමෙන් පිඟානට නව පෙනුමක් ලබාදීමට පුුළුවන්. එසේම පිඟානේ පිටත ඔබට රටාවන් සෑදීමට තීන්ත පෑන භාවිත කළ හැකියි. ඔබට තවත් පියවරක් ගොස් සීලන්ට් එකකින් ආලේපකර හෝ වාර්නිෂ් එකක් ස්ප්‍රේ කර වියළීමට ඉඩ දිය හැකිය.

 

ඔබ සෑදූ ආභරණ පිඟාන දැන් භාවිතයට සූදානම්.

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි

*********************

ගමන බිමන හැඩ කරවන වූල් පර්ස් විලාසිතා

ගෙත්තමට ළබැඳි ඔබේ සිත නිතැනින්ම වෙහෙසෙන්නේ නවමු නිර්මාණයකටය. මේ එවැනි පර්ස් එකකි. පුංචි සාදයකට ගෙන යා හැකියි. එසේම ඔබේ අත්කමේ නිර්මාණශීලීත්වය අනුව මේසයක් උඩ එහෙමත් නැතිනම් වාහනයකදී ටිෂූ රඳවනයක් ලෙස මේ පර්ස් එක භාවිත කළ හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මිලි මීටර් 3 වූල් කටුවක්

ළා නිල් පාට වූල්

කතුරක්

ඉඳිකටුවක්

 

නිර්මාණය කිරීම

පළමුව ළා නිල් පාට වූල් යොදාගෙන දම්වැල් විසි පහක් ගොතා ගන්න.

 

ඉන්පසුව එම දම්වැල්වලට තුන්පොට පිරවිලි ගොතා ගන්න.

 

මේ ආකාරයට පේළි විසි තුනක් ගොතා ගන්න.

 

ඉන්පසුව පර්ස් එකේ දෙපස කොටස් නිර්මාණයකර ගැනීම සඳහා අප ගොතා අවසන් කළ කොටසේ අට වැනි පේළිය සලකුණුකර ගන්න. එතැන් සිට පහළට පේළි අටක් වන තෙක් දම්වැල් පේළි හතරක් ගොතා ගන්න. ( අප ගොතා අවසන් කළ කොටසේ අටවෙනි පේළියේ සිට වම් පස හා දකුණු පස කොටස් මේ ආකාරයට ගොතා අවසන්කර ගන්න.)

 

එවිට ඔබට පේළි විසි තුනක් දිගකින් සමන්විත හා දෙපස පේළි හතරකින් සමන්විත කොටසක් දැක ගත හැකි වෙයි.

 

ඉන් අනතුරුව දෙපස කොටස් දෙක ප්‍රධාන මැද කොටසට සම්බන්ධ කර ගැනීම සිදු කළ යුතුයි.

 

වම්පස පේළි හතරකින් සමන්විත කොටස ප්‍රධාන කොටසේ පස් වැනි පේළියේ කෙළවරට සම්බන්ධකර ගන්න. මෙය ලිස්සා හැරීමකින් සම්බන්ධ කර ගත හැකිය. එම කොටසේ අනිත් පස ප්‍රධාන කොටසේ දාසය වන පේළීයේ සිට පේළි හතරක් පහළට සම්බන්ධකර ගන්න. මේ හා සමානව දකුණුපස කොටසද සම්බන්ධකර ගන්න.

 

ඉන් අනතුරුව ඔබට බොක්ස් එකක් වැනි කොටසක් දැක ගත හැකි වෙයි. එහි පියන් දෙකක් වැනි කොටස් දෙකක්ද දැක ගත හැකි වෙයි.

එහි පියන් කොටස් දෙක එකට සම්බන්ධ වන සේ බොත්තම් දෙකක් අල්ලා ගැනීම සිදුකර ගන්න. මේ ආකාරයට ඔබට අලංකාර පර්ස් එකක් නිර්මාණයකර ගත හැකිය.

 

එය තවත් අලංකාරකර ගැනීම සඳහා ඔබ කැමති ආකාරයකට මෝස්තර නිර්මාණයන් එකතුකර ගන්න.

 

උපදෙස් :-
අත්කම් නිර්මාණ ශිල්පිනි
තිළිණි මදුෂිකා
ගුණතිලක