ආදරේ කියන්නේ අයිතියට විතරක්ම නෙවෙයි

දෙසැම්බර් 23, 2024

විවාහය කියන්නේ ජීවිතය විවිධ පැතිවලට හැරවිය හැකි හැරවුම් ලක්ෂ්‍යයක්. මේ හැරවුම් ලක්ෂ්‍යයේදී කෙනෙකුගේ ජීවිතය හරිම සුන්දර වෙන්නත් තවත් කෙනෙකුගේ ජීවිතය අසුන්දර වෙන්නත් පුළුවන්.. ඒක විවාහ දිවියට එළැඹෙන ගැහැනියට, පිරිමියාට දෙදෙනාටම පොදුයි. ඒ නිසයි විවාහයට එළැඹෙන දෙදෙනකු අතර මනා අවබෝධයක් තිබිය යුතුයි කියා කියන්නේ.

 

අපි ගොඩක් වෙලාවට හිතනවා පවුල් ජීවිතය සාර්ථකව ගෙනියන්න ආදරය, අවබෝධය, එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම වගේ දේවල් තිබුණොත් ඇති කියලා. ඇත්තටම ඒ දේවල් ඇරුණම පවුල් ජීවිතයේ සාර්ථකත්වයට බලපාන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ලිංගිකත්වය. ගොඩක් වෙලාවට මේ ලිංගික තෘප්තිය දෙදෙනා අතර සමගිය, ආදරය, එකමුතුකම වැඩි දියුණුකර ගන්නත් හොඳ හේතුවක් වෙනවා.

හැබැයි මේ ගැන ගොඩ දෙනෙක් විවෘතව කතා කරන්න ලැජ්ජා වුණාට හිත්වලින් කතාකරන්න හරිම ආස මාතෘකාවක්. හැබැයි ජීවිතය අපිත් එක්ක බෙදාගන්න සහකරු, සහකාරිය සමඟ ලිංගිකත්වය ගැන විවෘතව කතාබහ කරන්න බැරිනම් තේරුම් ගන්න පුළුවන් ලොකුම දේ ඒ බැඳීමේ පලුද්දක් තියෙනවා කියන එක. මොකද මේ ලිංගිකත්වය නිසියාකාරව සිදු නොවුණොත් එයින් පවුල් ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

 

ලිංගික සම්බන්ධතාවකදී ගැහැනු කෙනා ගොඩක් කැමැතියි ලිංගික සම්බන්ධතාවකින් පසු ටිකක් වෙලා කතා කර කර ඉන්න. හැබැයි පිරිමි කෙනාට ඕනේ ලිංගික සම්බන්ධතාවෙන් පස්සේ ඉක්මනට නිදියගන්න. එහෙම වුණාම බිරිය හිතනවා මෙයා මාව ගණන් ගන්නේ නැහැ. මට ආදරේ නැහැ කියලා. මේවා කාලයක් තිස්සේ හිතේ තැන්පත් වෙලා තිබිලා කාලයක් යද්දි පුපුරලා යනවා.

තමන් කැමැති අකැමැති දේවල් විවාහ ජීවිතයට කලින්ම කතා කරගෙන යන ගමන ඉතාම සාර්ථකයි. ඒ කතාබහේදී අපි දරුවෝ හදන්නේ මොන කාලේ ද?, දරුවෝ කී දෙනෙක් හදනව ද? දරුවෝ අතරේ පරතරය කොච්චර කාලයක් තියෙනව ද?, ඒ දරුවන්ට උගන්නනේ කොහොම ද?, අපි දෙන්නා ඉන්නේ ආගම් දෙකක නම් දරුවෝ කොයි ආගමට ද අයිති වෙන්නේ? මේ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ලිංගික ජීවිතයට මේ සියල්ල බලපානවා. සාමාන්‍යයෙන් උදෑසනට ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික ආශාව වැඩියි. හැබැයි ගැහැනියකම ඒ ආශාව ඉෂ්ඨ කරගන්න බැහැ, උදෑසනට ඒ තරම් ඇය කාර්යබහුල නිසා. උයන පිහන වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, මේ දේවල් එක්ක ගැහැනිය හරිම කාර්යබහුලයි. ඒත් මේ මොන දේ තිබ්බත් වේලාව හදාගන්න බැරිකමක් නැහැනේ. කලින් දවසේ උයන දේවල් ලෑස්ති කරගෙන, ඇඳුම් අයන් කරන ඒවා කලින්ම කරගෙන වේලාව හදාගන්න පුළුවන්. ලයිට් නිවාගෙන, රහසිගතව, අඩ අඳුරේ ගතකරන ප්‍රේමාලිංගනයට වඩා නිදහසේ ප්‍රබෝධයෙන් කරන ලිංගික ක්‍රියාවලිය හරි තෘප්තිමත්. ඒ තෘප්තිය තමයි පවුල් ජීවිතයක් තුළදී අපිව ඉස්සරහට ගෙනියන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. ඒ ලිංගික ක්‍රියාවලිය තෘප්තිමත්ව හරියාකාරව ඉටු නොවුණාම දවසම මුස්පේන්තු පාටයි. ඔෆිස් එකේදීත් ඉන්නෙ මුණ එල්ලගෙන. බස් එකේදිත් හරි නැහැ. පාරෙදිත් හරි නැහැ. දකින දකින මිනිස්සුන්ට බණිනවා. ඒ විදිහ දැකපු ගමන්ම කියන්න පුළුවන් ඉතින්. මොකද ලිංගිකත්වයේ නියමාකාර තෘප්තිය නොලැබුණාම මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්. මේ ලිංගික ක්‍රියාවලියේදී අනෙකාගේ කැමැත්ත අකැමැත්ත ගැනත් හිතන්න ඕනේ. එයා කැමැති සිප ගැනීමකට ද? මෘදු සිප ගැනීමකට ද? ඉතා තදින් ද වැලදගන්න ඕනේ, මෘදු විදිහට ද වැලදගන්න ඕනේ. ආදර වදන් තෙපලනවට කැමැති ද? සුරාන්තයට පත්වෙන විට කියන්න කැමැති මං ඔයාට ආදරෙයි කියන්න ද. නැත්තම් ඉතින් ඇති ඇති කියලා තල්ලු කරලා දාන්න ද? මම මේ කියන්නේ මාගේ සායනයට ඇවිල්ලා එක එක්කෙනා කියන දේවල්. ලිංගික ක්‍රියාවලියක අවසාන ඵලය වෙන්න ඕනේ සතුට, තෘප්තිය සහ තමන්ගේ වර්ගයා බෝ කර ගැනීමයි. සතුට සහ තෘප්තිය ඉතාම වැදගත්.

තව දෙයක් ආදරයේදී අපි ගොඩක් ආත්මාර්ථකාමී වෙනවා. අයිති කර ගැනීම විතරක්ම නෙවෙයි ආදරය කියන්නේ. ආදරය ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා. අද කාලයේ ආදරයෙන් ප්‍රතික්ෂේප වුණොත් ඒ තරුණියගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයේ දානවා. එහෙම නැත්තම් එයා පෙනී ඉන්න වීඩියෝ දර්ශන සමාජයට මුදා හරිනවා. ලිංගික අවයවවලින් විතරක් නෙවෙයි ලිංගික සතුට ගේන්නේ. ආදරයටත් පුළුවන් ලිංගික සතුට ගෙනෙන්න. මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන. එයාලට ලිංගික සතුටක් නැති වුණත් හරිම සතුටින් පවුල් ජීවිතය ගෙනියනවා. හැබැයි එහෙම අයව ප්‍රතිකාර මඟින් සුවකර ගන්න හරි පහසුයි. මොකද උපදෙසක් ලබා ගන්න පුළුවන් මානසික මට්ටමක් ඔවුන් තුළ තියෙන නිසා ඒක අපිටත් පහසුයි.

 

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව

 

 

 

[email protected]