වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කවරයේ කතාව
තරුණී පුවත්පතට වසර 51ක් පිරෙන මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක්. මෙවර තරුණී මුල් පිටුවත් ඒ නිසාම සුවිශේෂී. මෙවර තරුණි මුල් පිටුව හැඩ කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනිය කිහිප දෙනකුගේ රුවෙනි. තරුණී මුල් පිටුව සරසන්නට පැමිණි ඔවුන් තරුණි 51 වැනි සංවත්සරයටත් මේ විදිහට සුබ පැතුම් එක් කලා.
ලාංකේය සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා
අපිට සිනෙස්ටා පදනමේදී මේ ක්ෂේත්රයේ ඉන්න ගොඩක් අය මුණ ගැහෙනවා. සිනෙස්ටා එකේදී රිදී රැයක් කරද්දී අපි ඔකොම එකතු වෙනවා. ඒක තමයි ලොකුම සතුට. මට ලෝක කොහේ රටක ගියත් අපේ කියන කෙනෙක් දැක්කම විශේෂයෙන්ම ක්ෂේත්රයේ කෙනෙක් දැක්කම පුදුම සතුටක් දැනෙනවා. මේ මගේ කෙනෙක් නේද අපේ කෙනෙක් නේද කියලා පුදුම සතුටක් දැනෙනවා. අද මේ අවස්ථාවට ඇවිත් ඉන්නේ මගේ පසු පරම්පරාවේ අය. ඉතිං එයාල දැක්කම මට හරිම සතුටුයි. එයාලත් එක්ක මේ විදිහට තරුණී මුල් පිටුවට ඉන්න ලැබීම මම අඟය කරනවා.
තරුණී හැමදාම තරුණයි. අවුරුදු 51ක් ගියත් තරුණයි. තරුණී පුවත්පත අපේ ක්ෂත්රයත් එක්ක ගොඩක් සම්බන්ධකම් තිබුණා මුල් කාලයේ ඉඳලම. අපි දෙගොලෝ අතරේ තිබුණු ඒ අන්‍යෝන්‍ය සබඳතාවය හරි වටිනවා. අපේ අදහස් පාඨකයන්ට ලබා දෙන්න වගේම දේවල් ඉගෙනගන්න තරුණී පුවත්පත ලොකු පිටිවහලක් වුණා. ඇත්තටම අපිත් තරුණීගෙන් ඉගෙනගත් දේ බොහොමයි.
තරුණී සමඟින් මම බොහෝ අවථාවලදී සම්බන්ධ වෙනවා. එහි කාර්ය මණ්ඩලය වරින් වර වෙනස් වුණා වුවත් ඒ හැමෝම හරිම සුහදයි. අපේ ක්ෂේත්රයට ගරු කරනවා. අපේ ශිල්පීන්ට ගරු කරනවා. මාධ්‍ය සහ කලා ක්ෂේත්රය කියන්නේ එකට යා යුතු මාධ්‍යන් දෙකක්. ඒ දෙක අතරේ සහයෝගය තියෙන්න ඕනේ. එකිනෙකාට ගෞරව කරන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ඕනෑම දෙයක දියුණුවක් තියෙන්නේ. තරුණී කියන්නේ එහෙම පුවත්පතක්.
ඉතිං තරුණිට මගේ හදවතින්ම සුබ පතනවා.
******************
සංගීතා වීරරත්න
අද මේ තරුණි මුල් පිටුවට යොදාගෙන තියෙන සංකල්පය හරිම සුන්දරයි. මාලිනී ෆොන්සේකා කියන්නේ මගේ ජීවිතය තුළ මා වඩාත් ගරු කරන කෙනෙක්. මා හැදී වැඩුණේ ඇය දිහා බලලා. උදාරි, සචිනි, චතුරිකා මේ හැමෝම මේ අවස්ථාවට සම්බන්ධ වුණේ තරුණිට තියෙන ආදරය නිසා.
තරුණීට 51ක් සපිරෙනවා. තරුණී සමඟ වැඩෙන දිරිය කාන්තාවන් බොහොමයි. තරුණී කියන්නේ කාන්තාවන් තමගේ ජීවිතයේ ඉදිරියට යනවිට එන අභියෝග බාධක මඟ හරවා ගනිමින් ඒවාට මුහුණ දෙමින් ඉස්සරහට යන්න උදව් කරන පුවත්පතක්.
තරුණී පුවත්පත තුළ කාන්තාවන්ගේ මුළු ජීවිතයම තියෙනවා. ළමයින්ගේ වැඩ කටයුතු, යෞවනියන්ගේ දේවල්, ගෙදර දොර කටයුතු, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, රූපලාවණ්‍ය, මානසික සුවය, වෛද්‍ය උපදෙස් මේ හැම දේම තියෙනවා. ඒ විදිහට බලද්දී තරුණී කියන්නේ කාන්තාවගේ කොටසක්. මේ පුවත්පත ඉදිරියටත් මේ විදිහට අපේ කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න පුවත්පතක් ලෙසින් හැමදාමත් අප අතරම රැඳෙන්න කියලා මම සුබ පතනවා.
මේ පුවත්පත මේ කළ සේවය ඒ ආකාරයෙන්ම කාන්තාවන්ගේ හදවත්වලට ළං වෙලා ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනවා.
****************
චතුරිකා පීරිස්
පුවත්පත්වල මුල් පිටුවට පෙනී ඉන්න අවස්ථා ඕනෑ තරම් තිබුණත් මේ අවස්ථාව සුවිශේෂයි. මේ කවරයට පෙනී ඉන්නේ අතිශයින්ම කාර්යබහුල රංගන ශිල්පිනියන්. කාලය කලමණාකරණය කරගනිමින් මේ පිරිස එක දවසක එකම වෙලාවක එකතුකර ගැනීමත් ලොකු දෙයක්. ඉතිං මේ පිරිස එකතුකර ගෙන කිසිදු අපහසුවක් නැතුව මේ මුල් පිටුව මේ විදිහට හැඩකරන්න ලැබෙනවා කියන්නේම ඒක වටිනාකමක් තියෙනවා. මේ අවස්ථාව මට වටිනාකමක් තියෙන අවස්ථාවක්.
තරුණී පුවත්පතට ස්තූතිවන්ත වෙනවා 51 වැනි සංවත්සරය වෙනුවෙන් මේවැනි ෆොටෝ ෂූට් එකක් කිරීම සහ එයට මටත් ආරාධනා කිරීම සම්බන්ධව.
තරුණී කියන්නේ කාන්තා පුවත්පතක්. එය කාන්තාවන්ට සේවයක් කරණ පුවත්පතක්. මමත් තරුණී කියවන කෙනෙක්. ස්වයං රැකියා කරන අයට මේ පුවත්පතෙන් ලොකු සේවයක් වෙනවා.
තරුණි පුවත්පතේ 51 වැනි සංවත්සරයට මේ විදිහට මාලිනි අක්කා, සංගීතා අක්කා, උදාරි, සචිනි වැනි මගේම සහෝදර පිරිසක් සමඟ එකතු වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා.
මම තරුණී පුවත්පතට සුබ පතනවා තවදුරටත් ශ්‍රී ලාංකේය කාන්තාවන්ට සේවය ඉටු කරන්න තමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා.
**************
සචිනි අයේන්ද්‍රා
මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබුණට ගොඩක් සතුටුයි. තරුණි පුවත්පතේ මේ සංකල්පය හරිම හොඳයි. මෙවර තරුණී මුල්පිටුවෙන් පරම්පරා කිහිපයකම රංගන ශිල්පිනියන් නියෝජනය කරන නිසයි මෙය විශේෂ වන්නේ. මාලිනි අක්කා, සංගීත අක්කා එක්ක බල්දි අපි කනිෂ්ඨයි. ඉතිං එවැනි අය සමඟ තරුණී මුල් පිටුව සරසන්න ලැබීම අපිට ලොකු සතුටක්.
අද කාලේ පුවත්පත් එනවා යනවා. එවැනි පසුබිමක දී පුවත්පතක් අවුරුදු 51ක් තියෙනවා කියන එකෙන්ම තේරෙනවා ඒක හොඳ පුවත්පතක් කියලා. ජනතාවගේ හදවත් දිනා ගත් පත්තරයක් නිසයි තරුණී තාමත් අංක එකේ කාන්තා පුවත්පත වෙලා තියෙන්නේ. අද කාලේ විවිධ සඟරා, කාන්තාවන්ට උපදෙස් දෙන විවිධ වෙබ් අඩවි, මුහුණු පොත ආදි ගොඩක් දේවල් තියෙනවා. ඒ තරගකාරීත්වයත් එක්ක මිනිසුන් ආදරය කරන පුවත්පතක් තවමත් තියෙනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රණයක්. ඉතිං තවත් අවුරුදු සිය ගණනක් ගියත් මේ පුවත්පත මීටත් වඩා දියුණු වෙලා ඉදිරියට යන්න ඕනේ කියලා මගේ හදවතින්ම සුබ පතනවා.
**************
උදාරි පෙරේරා
මම ඇත්තටම ස්තූතිවන්ත වෙනවා රංගන ක්ෂේත්රයේ ප්‍රවීණයින් සමඟ මේ අවස්ථාව ලස්සන කරන්න තරුණී මටත් ආරාධනා කළාට. සිංහල සිනමාවේ නිළි රැජින මාලිනි අක්කා එතකොට සංගීතා කියන්නේ මම ගරු කරන ලොකුම චරිත දෙකක්. ඒ වගේම සචිනි, චතුරිකා අපි මේ හැමෝම සතුටින් ගත කරපු අවස්ථාවක් වුණා අද. අපිව එකම දවසක මේ අවස්ථාවට එකතුකර ගන්න සංගීතා අක්කා ගොඩක් මහන්සි වුණා. මේ අවස්ථාවට මාව ලස්සන කරපු මරීනා පෙරේරා අක්කවත්, හසිනි ගුණසේකර අක්කවත් මං මතක් කරන්නම ඕනේ.
තරුණී පුවත්පත එක්ක මට ලොකු මතකයක් තියෙනවා. මගේ අම්මා තරුණි පුවත්පතේ හොඳ පාඨකයෙක්. මං පොඩි කාලෙදීත් අම්මා පත්තරේ ගන්නවා. ඒ නිසා පත්තරේ තියෙන වටිනාකම ගැන කවුරුත් කියන්න අවශ්‍ය නැහැ. මං එහි වටිනාකම හොඳීන්ම දන්නවා. මට මතකයි මං රංගනයට පිවිසි මුල් කාලේ මගේ ලිපියක් තරුණි පුවත්පතේ පළවුණා. අම්මා ඒ තරම් කවදාවත් සතුටු වුණේ නැතිව ඇති. තරුණී කියනේ වැටුණු කාන්තාවන්ටත් නැඟිටින්න උදව් කරන පුවත්පතක්. මේ පුවත්පත ගන්නා පාඨකයෙක් කවදාවත් බය වෙන්න ඕනේ නැහැ. මොකද තමන්ගේ ජීවිතය ඉදිරියට ගෙනි යන්න හැම උපදෙසක්ම තරුණි ලබා දෙනවා.
මට පුදුමත් හිතෙනවා තරුණී කාර්ය මණ්ඩලය මේ වගේ සේවයක් කරන්නේ කොහොමද කියලා. ඉතිං මා ඔවුන්ව අගය කළ යුතුයි. සමසත කාන්තාවන්ම ඔවුන්ව අඟය කළ යුතුයි. මා ඔවුන්ට සුබ පතනවා ඔවුන්ගේ මේ ගමන සාර්ථක වෙන්න කියලා. තරුණී ඉදිරි පරම්පරාවත් ආදරය කරන පුවත්පතක් වෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා.
හැඩගැන්වීම සහ සම්බන්ධීකරණය - රූපලාවණ්‍ය ශිල්පිනී මරීනා පෙරේරා
ඇදුම් නිර්මාණය - අසීනා සුලෙයිමාන් -azee colletion
සාරි නිර්මාණය (මාලිනි ෆොන්සේකා සඳහා) - ප්‍රියංකා විජේසිංහ
ඡායා -ශාන් රූපස්සර
2020/07/08 තරුණි පුවත්පත බලන්න.