වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පෙම් හීනය විසිරිලා
ඉතින්... විසිරුණු සිතිවිලි නිසාම ඉපදුණු ප්‍රේමය විසිරී ගිය පසු ගිලන් වූ සිත සුවපත් කරන්නට ගල්වන්නට වෙනත් ඔසුවක් නොවේවි.... ප්‍රේමයම මිසක...
හීන විසිරුණු රෝස යායක සුළඟෙ ලෙලෙනා මලකට
හිතම බැඳුණා ප්‍රේම හැඟුමන් පීදීලා එක දවසට
නිහඬ සිතිවිලි හිතේ රඳවා කතා කරනා දෑසට
හීන මල්ලක් හිතේ පොදි බැඳ අකුරු කෙරුවා ප්‍රේමෙට
හීන අස්සෙන් සිසිල් සුළඟක් හමා ගියේ හරි සීතෙට
සැලෙන තුරුලිය එකට එක්වී ගීත ගැයුවේ තාලෙට
වතින් නික්මුණු සුවඳ පැරදුනෙ පිච්ච විකසිත යායට
දෑස දෑසට යාව දිලිසුනෙ හිතේ තෙරපෙන ආලෙට
හිනාවට ඔය කතාවට හිත මත්ව නොදැනිම වසඟෙට
ගුළිව උන් ඒ පපුව අතහැර ලෝභ හිතුණා යන්නට
දෑත් පටලා වැතිරි පළසට ඉසුණු සීතල පින්නට
කප්පරක් මං හීන මැව්වා සොඳුර නුඹගේ වෙන්නට
දිලිසි පුන්සඳ වලා පවුරෙන් සැඟවිලා ගිය යාමෙට
රෝස යායක සැඟවිලා සිටි හීන විසිරුනි ඈතට
ප්‍රේම සිතිවිලි අහිමි වී ගිය ගිලන්ගත වුණු හිතකට
කෙසේ නම් මං ඔසු සොයන්න ද ඇවිළෙනා පෙම් ගින්නට
ප්‍රේමය කියන්නෙම වචනයෙන් විස්තර කරන්නට බැරි, දිග පළල මනින්නට බැරි පුදුමාකාර හැඟීමකි. කොයි වෙලාවක කොතැන කොහොම කා වෙනුවෙන් හිතේ ආදරයක් උපදියි ද යන්න සමහර විටෙක මේ හිත අයිති අපටත් රහසකි.
ඇත්තටම කෙනෙක් වෙනුවෙන් හිතේ ඇතිවෙන ආදරය මනසින් හදාගත්ත ලෝකයක් ඇතුළෙ හරි ලස්සනට පාට කරන්න, ආදරය විඳින්න, ප්‍රේමණීය සිතිවිලිවලට අත්තටු දෙන්න ඒකපාර්ශ්වික ආදරයකට හැකියි.
තම හිත තුළ ඇතිවෙන ඒකපාර්ශ්වික ප්‍රේමය සොඳුරු යැයි සිතිවිලි තහවුරු කළත් එය විටෙක රුදුරු සුනාමියක් වැනිය. විසිරුණු සිතිවිලි සමඟින් හීලෑ නැතිව හැමතැනම දුවන හිත නුපුරුදු රුවක් ළඟ නැවතෙමින් නුහුරු හැඟුමන්වලට පණ දෙන්නට පටන් ගනියි. සිතිවිලි පිරුණු සිත අමුතු නැවුම් බවකින් ප්‍රබෝධවත් වෙයි. හමන සිහිල් සුළඟත් සමඟ මුසු වූ ආදරයේ සුවඳ සිතිවිලි පුරා සැරිසරන්නට පටන් ගනියි.
ඔව්.. ඒ ඇස් කතා කරනවා වගේ දැනෙයි. දවසක් වුණත් ඇසිපිය නොහෙලා ඒ කතා කරන දෑස් දිහා බලන් ඉන්න හිතෙන තරමට ඒකපාර්ශ්වික ප්‍රේමණීය හැඟුම් බොළඳ වෙන්නට පටන් ගනියි. වශී වෙන ඒ ඇස් ළඟ සිතිවිලි ඉහිරෙන සිනහව ළඟ නුහුරු පහසට ගුළිවෙලා ලෝකයට රහසින්ම ඒ හැඟුම් විඳ ගනියි. අවසරයකින් තොරවම ඒ දෑත් මත තම දෑත් පටලා ගන්නට... නුහුරු පපුතුරට ගුළි වෙන්නට.. හිමිකම් කියන්නට... ඒකපාර්ශ්වික ප්‍රේමනීය සිතිවිලි යුහුසුලු වෙයි.
එහෙත් තම ප්‍රේමයට බඳුන්වන්නාගේ අනුදැනුමකින් තොරව තම සිතැඟි පරිදි හැඟුම් පුබුදුවන ඒකපාර්ශ්වික ප්‍රේමය ඇතිවෙන්නට හා නැතිවෙන්නට යන්නේ තත්පර ගණනක ඇසිපිය ගසන ඇසිල්ලකි. එහෙයින් බුද්ධිය මඟහැර හදවතට පමණක් අවනත වීම නිසාම යථාර්ථය වැටහෙන විට හීලෑ නොමැතිවම සතර අත දිවූ සිත ඒකපාර්ශ්වික ප්‍රේමය නිසා ගිලන්ගත වී අවසානය..
ඉතින්... විසිරුණු සිතිවිලි නිසාම ඉපදුණු ප්‍රේමය විසිරී ගිය පසු ගිලන් වූ සිත සුවපත් කරන්නට ගල්වන්නට වෙනත් ඔසුවක් නොවේවි.... ප්‍රේමයම මිසක... ඒ නිසා ආදරය කරන්නට පෙර සිතට අවවාදයක් දී මෙල්ල කර ගන්නට හැකි නම් සැබැවින්ම ඔබ දිනුම්.