වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පුංචි කාලෙ දෙන්නා හොයාගන්න ඇඟිලිවල ප්ලාස්ටර් බැන්දා
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේදී එකවර ආචාර්ය උපාධිය හිමි කරගත් නිවුන් සොයුරියන්ගේ මව කියන කතාව
උතුම් මවුපදවියේ මහිමය දෙගුණ, තෙගුණ වී තම කුසයෙන් දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු එකමවර මෙලොව උපත ලැබීම මහා වාසනා මහිමයකි.
මෙවන් දුලභ වූ වාසනාවක් හිමිකර ගන්නා මවක් තම දරුවන්ගේ උපන් හපන්කම් එක ලෙස විචිත්‍රවත් කරමින් දස්කම් දක්වන අයුරු දකින විට ඇතිවන හැඟීම වචනයට පෙරළිය නොහැකි තරම්ය. තම කුසෙන් උපන් දරුවන් දෙදෙනාම එක ලෙස නැණ පහන් දල්වමින් සිප් සතර හදාරා ලොවක් අවධි කරමින් එකම වර එකම දිනයේ ආචාර්ය උපාධියක් ලැබීම දකිනට හැකිවීම මවක් ලබන විශාල භාග්‍යයකි. පුංචි අපේ මවුබිමට කීර්තියක් අත්කර දෙමින් තේජානී සහ නදීෂා නිවුන් සොයුරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේදී තම ආචාර්ය උපාධිය හිමි කර ගැනීම සනිටුහන් කරන්නේ එම විශ්වවිද්‍යාලයේ ඉතිහාස පොතේ අලුත් පරිච්ඡේදයක් සටහන් කරමිනි. ඒ වසර 168කට පසු නිවුන් සොයුරියන් දෙදෙනකු එකමවර ආචාර්ය උපාධිය හිමි කර ගැනීමේ ගෞරවයයි. මේ දුලභ වූ අවස්ථාව උදාර කරගත් දියණියන්ගේ මෙලොවට බිහි කළ ආදරණීය මෑණියන් ලබන සතුට ඔවුන් ලැබූ උපාධියට වඩා බොහෝ ගැඹුරුය. ඒ නිසාම නිවුන් දරුවන් ලැබූ ජයග්‍රහණය ගැන හා ඇය මේ දරුවන් දෑස මෙන් රැකබලා ගත් අයුරු මානෙල් ගුණරත්න මහත්මිය සිහිපත් කළේ අතීත මතක සිත්තම් අවදි කරමිනි.
“මගේ ගම් පළාත මහනුවර. මහනුවර මහාමයා බාලිකා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. අපි මහරගමට ආවේ විවාහ වුණාට පස්සේ. විවාහ වෙනකොට මම ගණිත ගුරුවරියක්. මහරගම විද්‍යාකර විද්‍යාලේ සේවය කරලා පසුව ජනාධිපති පිරිමි විද්‍යාලයේ තමයි සේවය කළේ. මගේ සැමියා රියෙන්සි ගුණරත්න ඒ කාලේ ජනප්‍රිය ඉංග්‍රීසි කතිකාචාර්යවරයෙක්. අපේ ගෙදර ඒ කාලේ තිබුණේ සම්පූර්ණ ඉගෙන ගන්න පාසලක පරිසරයක්. මේ නිවුන් දරුවෝ දෙන්නා ඉපදෙන්න කලින් අපට දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නා ඉපදෙන්න ඉන්න කොට අපි සෙන්ට්ඇන්තනිස් නර්සින් හෝම් එකේ චැනල් කළා. ඩොක්ටර් මගේ බඩ දැකපු ගමන් ස්කෑන් නොකරම කිව්වා දරුවෝ දෙන්නෙක් කියලා. ඇත්තටම මම පුතාලට වඩා වැඩිය කැමති වුණේ දුවලට. මොකද මම ඒ කාලේ ඉගෙන්නුවේ මහරගම පිරිමි විද්‍යාලයේ. පිරිමි දරුවෝ පොඩි කාලේ දඟයිනේ..... ඒ නිසා මම ගෑනු දරුවෝ ලැබෙනවාට සතුටු වුණා. මුලින්ම අපි දැක්කේ තේජානිගේ මුහුණ හරිම ලස්සනයි.... පුළුන් බෝලයක් වගේ. ඒ නිසා එයා දැකපු ගමන්ම තේජානි කියන නම මම තිබ්බා. ඊට විනාඩි 09කට පස්සේ තමයි නදීෂා ඉපදුණේ. දෙන්නම හරිම හුරතල්. පුංචි කාලේ දෙන්න අනිත් පැත්තට හැරිලා ඉන්න කොට කොහොමවත්ම අඳුන ගන්න බැහැ. හැබැයි තේජානි ඇඟිල්ල උරන පුරුද්දක් පොඩි කාලේ තිබුණා. ඒකෙන් තමයි එයාව අඳුන ගත්තේ. මේ පුරුද්ද නවත්ත ගන්න ඕන නිසා අපි කළේ මාපට ඇඟිල්ලට ප්ලාස්ටර් එකක් බැන්දා.
මේ දුවලා දෙන්න අක්කලා වගේම කීකරුවයි හැදුණේ. හැමදෙයක්ම හරිම පිළිවෙළට කරනවා. ඒක පුංචි කාලේ පටන්ම තිබුණු පුරුද්දක්. අපි මේ දෙන්නාව පළමු ශ්‍රේණියේ පටන්ම කොළඹ මියුසියස් විද්‍යාලයට දැම්මේ. උසස් පෙළ දක්වාම ගියේ ඒ පාසලට. දරුවෝ පුංචි කාලේ අපිත් හරිම අවිවේකයි. සමහර වෙලාවට හවසට මේ දෙන්නටත් පොතක් පැන්සලක්, කවකටු පෙට්ටියක් දීලා මම උගන්වන පංතියේ අන්තිම පේළියේ ඉන්දවලා තිෙයනවා. මේ දෙන්නාගේ පාඩුවේ මා උගන්වන දේවල් බලාගෙන කරනවා. ඒ නිසා මෙයාලට උගන්වන්න අපට අමතර මහන්සියක් වෙන්න වුණේ නැහැ.
හැබැයි මගේ සැමියා අවුරුදු 11 කට පෙර හදිස්සියේ මිය ගියා. එයා මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තු දක්ෂ ගුරුවරයෙක්. හැබැයි ඔහු නැතිවුණු අඩුව මම කොහොම හරි පිරෙව්වා. මේ දෙන්නා උසස් පෙළ සමත් වුණාට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ආහාර විද්‍යාව සහ තාක්ෂණවේදී විශේෂ උපාධියක් තමයි කළේ. ඇත්තටම මම ගණිත ගුරුවරියක් නිසා දරුවෝ
ඒ අංශයෙන් ඉදිරියට යනවා දකින්න ආසාව තිබුණේ. නදීෂා ඒ අංශයේ හොඳම සිසුවිය වෙලා රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. හොඳම සිසුවියට අමතරව හොඳම පර්යේෂණයට දෙන්නාගේ ශ්‍රේණිගත අගයත් ඉහළම මට්ටමේ තිබුණා. දශමයක වෙනසක් විතරයි තිබුණේ. ඒ නිසා දෙන්නටම ආචාර්ය උපාධිය කරන්න කියලා මම කිව්වා. මේ දෙන්නගේ පුංචි කාලේ පටන්ම හීනයක් තිබුණා. ඒ තමයි මෙල්බර්න් වගේ නිදහස් විශ්වවිද්‍යාලයකට යන්න. හැබැයි ඒක සමත් වෙන්න සෑහෙන්න කැප වුණා. දෙන්න හරිම සමගියි. ඒක පුංචි කාලේ පටන්ම පුරුදු වුණු දෙයක්. තේජා ගවුමක් මාරු කළොත් නදීෂාත් ඒ වගේම ඒ පාටම ගවුමක් අඳිනවා.
ඇත්තටම මට ලොකු දුකක් තියෙන්නේ මේ ජයග්‍රහණය දකින්න මගේ සැමියා නොසිටීම තමයි. එයා හිටියා නම් පුදුම විදිහට සතුටු වෙයි. පුංචි කාලේ මේ දෙන්නා පැටලෙන නිසා හරි අපූරු සිද්ධි වෙනවා. දෙන්නම ක්‍රීඩාවටත් දක්ෂයිනේ. බැට්මින්ටන්, වූෂු ක්‍රීඩාවට මේ හැම එකකින්ම ජයග්‍රහණ කරලා තියනවා.
මේ දෙන්නම ආගම දහමට හරිම ලැදියි. දෙන්නම ඉස්කෝලේ ගියේ සැමදාම බුදුන් වැඳලා. දුවලගේ හැම විභාගයක් තිෙයනකොටම අපි බෝධි පූජාවක් තියනවමයි. අපේ ගෙදර තිබුණු ඒ ආගමික පරිසරය තමයි මගේ දුවලා දෙන්නට මේ තරම් ආශිර්වාදයක් වුණේ. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නම විවාහ වුණෙත් 2019දී. දවස් දෙකක වෙනසක් තියෙන්නේ. ඒ තරමටම දෙන්නගේ බැඳීම තාමත් තිෙයනවා.“
ඔවුන් දෙදෙනාගේ සැබැඳිට සංසාරගත වූ බැඳීමක් ලෙසින් එකට එකතු වී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. විනාඩි නවයක කාලයකින් වෙනස් වූ දෙදෙනාගේ වෙනස තුළ ඔවුන් එකට බැඳෙමින් ආචාර්ය උපාධිය දක්වා පැමිණි ගමනේ අභියෝග රැසකි. එම අභියෝග මැදින් ආ ගමන් මඟ ගැන අපට තේජානී සහ නදීෂා සඳහන් කළේ මහත් අභිමානයෙනි.
“අපේ තාත්තාගේ නැති වුණු අඩුව සම්පූර්ණයෙන් පිරෙව්වේ අම්මා. අපි ආචාර්ය උපාධිය කරන කාලේ
සෑහෙන්න වැඩ තිබුණා. අපිට අම්මයි, අක්කලා, නෑදෑයෝ මෙහෙ හිටිය නිසා විශාල ශක්තියක් වුණා. අපේ ආචාර්ය උපාධිය කරන කාලේ සෑහෙන රටවල් ගණනාවක ගිහින් තිෙයනවා. අපි බාහිර කටයුතු වගේම පවුලේ කටයුතු කරන ගමන් තමයි අධ්‍යාපන කටයුතු කළේ. තේජානිට දැන් ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයක් තිෙයනවා. නදීෂා දැන් පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේය.
අපේ ආචාර්ය උපාධිය ඉවර වුණේ 2019 වසරේදී. ඒත් කෝවිඩ් නිසා උපාධි ප්රදානය කිරීමේ උත්සවයක් තිබුණේ නැහැ. 2022 මේ වසරේ මාර්තුවේ තමයි තියන්න තිබුණේ උත්සවය, නමුත් ඒකත් තිබුණේ නැතිව අන්තිමට උත්සවය තිබුණේ දෙසැම්බර් 17 වැනිදා. මුළු පවුලම උත්සවයට ආවා. පුදුම සතුටුදායක දවසක්. අක්කලා දෙන්නත් ආවා.“
තේජානී මේ වන විට ඕස්ට්‍රේලියාවේ ක්රිස්රෝ ජාතික විද්‍යා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරයෙකි. නදීෂා ලොස්ඇන්ජලීස් නුවර ඇම්බි ආයතනයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස රැකියාවේ නිරතව සිටියි. එසේම තේජානී විවාහ වී සිටින්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රුවන්ත ප්‍රනාන්දු පුල්ලේ සමඟය. ඔහු මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ ශාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රීඩකයා ද වෙයි. ඔහු දැන් ඔස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර බැංකු ෙත්‍ර යේ රැකියාවක නියැළෙයි. නදීෂාගේ සැමියා නියෝමාල් මුතුමාලය. ඔහු ඇමෙරිකාවේ වෛද්‍යවරයෙකි. ඉතාම සාර්ථකව ජයගත් නදීෂා සහ තේජානි දෙදෙනාගේ අපේක්ෂාව වී ඇත්තේ තවත් ටික කාලයකින් අප මවුබිමට පැමිණ තම උපන් බිම වෙනුවෙන් කිසියම් වූ මෙහෙවරක් කරමින් තම හිතුමිතුරියන් සමඟ ලැබූ ජයග්‍රහණය සමරන්නය.