වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දහසක් බාධක මැද කැර ෙකන සයිකල් ෙරා්දය
පුංචි කාලේ අප හැමෝම සිහින දකිනවා... බොහෝ විට මෙවැනි සිහින දකින්න තමුන් ජීවත්වන පරිසරය සහ පසුබිම බෙහෙවින් බලපානවා. තමුන්ගේ මව හෝ පියා කරන රැකියාව දකින පුංචි දරුවෝ ඒ රැකියාව කරන්නත් කුඩා කාලයේ සිටම හුරුවෙන්නේ නිරායාසයෙන්.
අවිස්සාවේල්ල පුවක්පිටියේ ලක්ෂිමා දුලාන්ජලි කුඩා කාලයේ පටන්ම එවැනි සිහින දුටු දියණියක්. ඇය උපන් දා පටන්ම දැක්කේ පාපැදියයි. නැතිනම් සයිකලය. එවැනි පසුබිමක හැදුණු වැඩුණු ඇය ඒ සිහිනය සැබෑ කරගෙන. ඇය 2022 වර්ෂයේ සමස්ත ලංකා 20න් පහළ පාපැදි තරගාවලියේ ජයග්‍රාහිකාව බවට පත්වන්නේ තම මවුපියන්ගෙන් උරුම වූ සහජ කුසලතාවය ඔප මට්ටම් කරගනිමින්.
වයස අවුරුදු 19ක් වූ ලක්ෂිමා හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසරේ වාණිජ විෂය හදාරණ අතර, එම ජයග්‍රහණය ලබාගැනීම හා සබැඳි ගැඹුරු පසුබිමක් වෙයි. අප මේ පසුබිම් කතාව සොයාගෙන පසුගිය දිනෙක සීතාවක පුරවරයට ගියේ ඒ කතාව ඇයගෙන්ම දැනගැනීමේ අපේක්ෂාවෙනි. එහිදී අපට ඇයගේ සැබෑ ජීවිත කතාව හා ජයග්‍රහණයේ සැබෑව සොයා ගන්නට හැකි වුණා.
“මගේ තාත්තාගේ රැකියාව සයිකල් අලුත්වැඩියාව. තාත්තා අවුරුදු ගාණක් සයිකල් අලුත්වැඩියාව තමයි කරන්නේ. තාත්තාගේ සයිකල් වැඩපොළ තියෙන්නේ හංවැල්ලේ. හංවැල්ලේ විජිත කුමාරගේ සයිකල් වැඩපොළ කිව්වම මේ පළාතම දන්නවා. ඔහු මුලින්ම තරුණ කාලේ සයිකල් රේස් පැදලා තියෙනවා. ඒ කාලේ තමයි අපේ අම්මගෙයි, තාත්තගෙයි හමුවීම සිදුවෙලා තියෙන්නේ. මම ඉපදුන දවසේ පටන්ම අම්මයි තාත්තයි දෙන්නම රේස් පදිනවා තමයි දැක්කේ. පුංචි කාලේ පටන්ම අපේ ගෙදර තිබුණේ සයිකල්. මම දන්නෙම නැතුව සයිකල්වලට ආශාව ඇති වුණා.
අපේ මුල් ගම අවිස්සාවේල්ල පුවක්පිටිය. මම පාසල් ගියේ වේරගොල්ල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ කරන්න කොස්ගම සුමේධ විද්‍යාලයට ආවා. මට කවුරුවත් සයිකල් පදින්න ඉගැන්නුවේ නැහැ. හැබැයි අම්මා නම් මම සයිකල් පදිනවට පොඩි කාලේ පටන්ම අකමැතියි. එයා තරුණ කාලේ හුඟක් රේස් පැදලා තියෙනවා. දවසක් පුවක්පිටිය පහන ළඟදි අම්මා අනතුරකට ලක්වෙලා කකුල කැඩුණා. ඊට පස්සේ තමයි එයා රේස් පදින එක නැවැත්තුවේ. හැබැයි අම්මාගේ කකුල තුවාල වුණා කියලා මම සයිකල් පදින එක නැවැත්තුවේ නැහැ. දිගටම සයිකල් පැද්දා. මම සයිකල් රේස් පදින්න ගත්තේ අවුරුදු 11දී විතර.
පුංචි කාලේ මම සයිකල් පදින එක නවත්වන්න ඕන නිසා අම්මා මාව මලල ක්‍රීඩාවලට යොමු කළා. නමුත් මගේ වැඩි කැමැත්ත තිබුණේ සයිකල් රේස්වලට. ටික කාලයක් යද්දි අම්මටයි, තාත්තටයි දැනුනා මගේ සහජ හැකියාව තියෙන්නේ සයිකල් පදින්න කියලා. අම්මයි, තාත්තයි දෙන්නා මට හැමවෙලාවෙම කියන්නේ ඉගෙනීමේ කටයුතු අතපසු නොකර ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න කියලා. ඒ කියපු විදිහටම මම සාමාන්‍ය පෙළ හොඳට සමත් වුණා. A සාමාර්ථ 5ක් සහ B සාමාර්ථ 3ක් ගත්තා. මම සාමාන්‍ය පෙළ ලියන දවසට පෙර දවසෙත් සයිකල් රේස් එකක් පැදලා තමයි පහුවදා විභාගයට ගියේ.
මම මේ වෙනකොට තරග 8ක් පමණ ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අතුරින් හොඳම ජයග්‍රහණය තමයි 2022 වසරේ 20න් පහළ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීම. ඒ වසරේම ජාතික සූරතා පාපැදි ධාවන තරගාවලියේ තරග දෙකක් තිබුණා. ඒ තරගාවලියේ මට ප්‍රථම ස්ථාන 2ක් දිනාගන්න පුළුවන් වුණා. එක තරගයක් මාර්ග ධාවන තරගයක්. අනෙක් තරගය වේලා සටහන් තරගයක්. ඇත්තටම මගේ ක්‍රීඩා හැකියාව මුලින්ම ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණේ කොස්ගම සුමේධ විද්‍යාලයේදී. මම හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ආවේ උසස් පෙළ හදාරන්න. සුමේධ විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මම ඒ විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩා නායිකාව වුණා. නමුත් මට ඒ පාසලේ ක්‍රීඩා නායිකාව වුණා කියලා සහතිකයක්වත් ගන්න බැරි වුණා. මට ඇත්තටම ඒ ගැන සිතේ සැහෙන දුකක් තිබෙනවා. නමුත් මට ඒ සහතික නැතිවුණාට ලොකු ගමනක් එන්න පුළුවන් වුණා. දැන් මට මේ පාසලේ ප්‍රධාන ක්‍රීඩා උපදේශක ජයලාල් රත්නසූරිය සර් ක්‍රීඩා කුසලතාවයන් දියුණු කරගන්න හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඊට අමතරව මේ පාසලේ සියලුම ක්‍රීඩා ගුරුවරු මට සෑහෙන්න උදව් කරනවා. මගේ මේ ජයග්‍රහණය පිටිපස්සේ හෙවණැල්ල වගේ ඉන්නේ මගේ තාත්තා. ඔහු මගේ සෑම පුහුණුවීමකටම එනවා. අම්මත් එහෙමයි. ඒ දෙන්නටම අමතරව මට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න රවීන්ද්‍ර රෝහණ මාමයි, ෂෙල්ටන් අභයරත්න මාමයි දෙන්නා මට විශාල ශක්තියක් ලබා දෙනවා.”
ලක්ෂිමා දුලාන්ජලි දියණිය මේ ලැබූ ජයග්‍රහණයත් සමඟ අනාගතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු සිත් හි දල්වාගෙන සිටියි. ලෝක පාපැදි තරගාවලියක් ජයග්‍රහණය කරමින් ඉදිරියට යාම ඇයගේ සිහිනයකි. ඒ වෙනුවෙන් ඇයට විශාල ශක්තියක්ව ඇත්තේ ඇයගේ ආදරණීය මවය. ඇය ද සමස්ත ලංකා පාපැදි සූරතාවය දිනූ ක්‍රීඩිකාවකි. ලක්ෂිමාගේ මව මේනකා දිල්රුක්ෂි ඇය ක්‍රීඩිකාවක් ලෙසින් ලැබූ ජයග්‍රහණ හා අතීතය ගැන අපට සිහිපත් කළේ තම දියණියගේ ජයග්‍රහණය ගැන වඩාත් ආඩම්බරයෙනි.
“මම හදිසි අනතුරක් වෙලා පාපැදි තරග බිමෙන් ඉවත් වුණේ හරිම කනගාටුවෙන්. ඇත්තටම මගේ කකුල කැඩිලා සෑහෙන කාලයක් ප්‍රතිකාර කළා. ඒ නිසා මගේ දුව පාපැදිය පදිනවාට ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. එයා අපට ඉන්න එකම දුව. නමුත් එයාගේ ආසාව වුණේ සයිකල් රේස් පදින්නමයි. ඒක එයාගේ පෙර ආත්මයේ පටන්ම එන හැකියාවක් වෙන්න ඇති. එයා මගේ කුසට ආපු දවසේ පටන්ම සයිකල් රේස් පැදීම තමයි ලෝකය වුණේ. ඒ නිසා වෙන්න ඇති එයා මේක තෝරාගන්න ඇත්තේ. හැබැයි දැන් මට හිතෙනවා, එයා දුර ගමනක් යයි කියලා. ඒකට මුල් අඩිතාලම දැන් වැටිලා තියෙනවා. 1998 වර්ෂයේදී මම තියපු වාර්තාවම අද මගේ දුව බිඳහෙලා තියෙනවා. නමුත් එයා තවම පදින්නේ මම පැදපු සයිකලේ. එයාට හරියට හොඳ සයිකලයක්වත් තවම නැහැ. එයා මේ තරග ජයග්‍රහණය කළේ බාධක මැද්දේ. ඇත්තටම අපේ දුවට අලුත් සයිකලයක් අරන් දෙන්න අපට වත්කමක් නැහැ. නමුත් අපට පුළුවන් විදිහට දරුවාගේ හැකියාවට අත දෙනවා. කවදාහරි අපට ඒ උත්සාහයේ ප්‍රතිඵල අපට දකින්නට ලැබේවි.”
දුලාන්ජලී දියණිය අනාගතය පිළිබඳව බලාපොරොත්තු තැබිය හැකි ජාතික මට්ටමේ පාපැදි ශූරියකි. ඇය තම අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩාව සමබරව පවත්වා ගනිමින් ක්‍රීඩාවෙන් ඉදිරියටම පැමිණ තිබේ. එය සමස්ත දරු පරපුරටම ආදර්ශයකි. ඇයගේ එම සහජ කුසලතාවය ඔප්නංවා ගැනීමට අතහිතෙදීමට කිසියම් ආයතනයක් හෝ අනුග්‍රාහකයෙක් ඉදිරිපත් වේ නම් එය ඇයට යෝධ ශක්තියකි.