නව හැඟුමන් පුබුදුවන නිවෙසේ කලඑළිය

අප්‍රේල් 3, 2023

කොහාගේ මියුරුතම රාවයත් සමඟින් ඔන්න මෙවරත් අවුරුද්දේ සිරි අසිරිය රැව් පිළිරැව් දෙන්නට පටන් අරන්.

මොනතරම් ආර්ථික අර්බුදවලට මැදිහත් වුවත් නැකැත් සීට්ටුවට අනුව අත්‍යවශ්‍යම දේවල් හෝ ඉෂ්ට සිද්ධ කරගන්නමයි හිත කියන්නේ.

ඉතිං පුළුවන් විදිහකට ගෙවල් දොරවල් පිරියම් කරගෙන, අලුත් ඇඳුම් පැලඳුම් සකස් කරගෙන පවුල පිටින් නෑ හිතවතුන් බලාකියා ගෙන එන්න කොයි කවුරුත් උනන්දුයි.

ගෘහ අභ්‍යන්තර අලංකරණයේ නවමු ඉසව් සොයා යන ඔබට නිවෙස කල එළි කරගැනීමට මහ ගොඩක් මුදල් විය පැහැදම් වෙයි කියලා නම් හිතන්න එපා.

අවුරුදු මාසේ කියන්නෙම ගෘහිණියට, කාන්තාවට, අම්මට නිවනක් නැති කාලයක්. කිසිම වෙනසක් නොකළත් මකුළු දැල් ආදිය කඩා ⁣ගෙවල් දොරවල් අතුපතු ගා සෝදා පිරිසුදුව තබන්නටවත් ඇය උනන්දු වෙනවා. බිත්ති සෝදා ගෙබිම පිරිසුදු කරද්දිත් ආයාසයකින් තොරවම නැවුම් බවක් එක්වෙනවා.

තේමාවක් කරා

එළැඹෙන අලුත් අවුරුද්දේ දී නිවෙස කලඑළි කරගන්න සිතූයේ නම් මූලිකම කර්තව්‍යය වෙන්නේ තේමාවක් කරා යෑම. පැහැය, සූරියකාන්ත මල්, ඉර, බුලත් කොළය ....මේ ආදි දේ තේමාව සඳහා බඳුන් වේවි.

කහ පැහැය හෝ කහ පැහැයේ පරාසයන්, රතු තැඹිලි වැනි වර්ණයන් අවුරුද්ද සංකේතවත් කරාවි.

අවුරුදු නිවෙසේ තිබෙන දොර රෙදි, ජනෙල් රෙදි ආදිය හොඳින් සෝදා පිරිසුදු කරගන්න. කුණු දූවිලි ආදිය ඉවත් වීමෙන් පසු අපූරු පෙනුමක් ගෙන දේවි. සූරියකාන්ත මල්, ඉර වැනි මෝස්තර රටාවක් ගෙන තැනින් තැනට මෙයින් එක් දෙයක් තෝරාගෙන ගළපා ගන්න පුළුවන්. මෙය කඩදාසි කොළයක, රෙදි කැබැල්ලක ලස්සනට චිත්‍රණය කරගත් සිතුවමක් ලෙසට, පැච්වර්ක් එකක් ....මේ ආදි නිර්මාණශීලි ලෙස ඕනෑම මාධ්‍යයකින් සරසා ගත හැකියි. අවුරුදු දවස්වලට පමණක් සීමාවන පරිදි අලංකාරවත් කරගන්නා නිසා කටුවක්, ඇල්පෙනෙත්තක් ආධාරයෙන් දොර රෙදි, ජනෙල් රෙදිවල එල්ලා ගත හැකියි.

බිත්ති සැරසිල්ලකින් විහිදෙන සුන්දරත්වය

අවුරුදු සිරිය හරි අපූරුවට නිවෙසට කැන්දා ගෙන එන්නට බිත්ති සැරසිල්ලකට පුළුවන්. මේ දේවල් මිලදී ගන්නටම අවශ්‍ය නැහැ. සිතුවම් කිරීමේ හැකියාවෙන් පිරිපුන් අයකුට නම් තමාටම සිතුවම් කළ හැකියි. එසේ නැතිනම් දන්නා හඳුනන හිතෛෂි කෙනකු වෙතින් සිතුවම් කරවා ගත හැකියි.

කතිර රටාවකට, රිබන් එම්බ්‍රොයිඩරිවලට, පැච්වර්ක් ඇතුළු නිර්මාණකරණයේ නියැළෙන කෙනකුට මේ දේවල් තමාගේම නිර්මාණශීලි දෑත භාවිත කර නිමවා ගෙන අපූර්වතම තෘප්තියක් ද විඳ දරා ගත හැකියි.

 

ඔරලෝසුවත් අලුත් වෙලා

සමස්ත ජාතියක්ම එකට එකතුව එකම වෙලාවකදී නැකැත් සීට්ටුවකට අනුගත වෙමින් කටයුතු කරන නිසා නිවෙසේ ඔරලෝසුවටත් වෙනස් ම පෙනුමක් ගෙනදිය හැකි නම් කෙතරම් අගනේද?

නිවෙසේ මාස්ටර් බෙඩ්රූම් එක ඇතුළු අනෙක් නිදන කාමරවල ඇති ඇඳ රෙදි සඳහාත් ඔබේ තේමාව ගළපා ගන්නට අමතක කරන්න එපා.

ගෘහ භාණ්ඩ එහා මෙහා කරලා බලමුද?

ගෘහ උපකරණ හැමවිටම එකම දිශාවකට, එකම රටාවකට නොතබා යම් යම් වෙනස්කම් කිරීමෙන් නැවුම් බවක් ලැබේවි. මෙහිදි නිවෙසේ එක් එක් කොටසින් කොටසට කඩදාසි කොළයක් ගෙන ගෘහභාණ්ඩ ස්ථානගත කරන අන්දම ඒවාහි මිමි සටහන් කරගන්න. සැලසුම් සහගත අන්දමින් බඩුභාණ්ඩ එහා මෙහා නොකළොත් ඉඩකඩ ඇහිරී කලින් තිබුණු අන්දම මීට වඩා හොඳයිවේ කියා.

Burn Furniture පෙනුම ගෙන දෙන පරිදි ගෘහභාණ්ඩ සකස් කිරීම දැන් අලුත්ම විලාසිතාවයි.

ස්වභාවික ගස්වැල් නිවෙස තුළටත්

නිවෙසක් හරිම අඩු වියදමකින් විචිත්‍රවත් කරගන්න ස්වභාවික මල්, කොළවලට(Indoor Plants) පුළුවන් . නිවෙස ඇතුළත තැබිය හැකි විසිතුරු ශාක පත්‍ර ඕනෑතරම් තිබේවි. ලී බඳුන්, වීදුරු බඳුන්වල මේවා තැබීමෙන් අලංකෘත බව දෙගුණ තෙගුණ වේවි. කොෆි ටේබල් එක, කෑම මේසය සරසන්න මේ දේවල්වලට පුළුවන්.

අවුරුදු කෑම මේසය

 

අලුත් අවුරුද්දේ පවුලේ උදවිය එකට එකතුවෙලා කිරිබත් කටක් කන්නට සිතන අවුරුදු කෑම මේසය පොහොසත් විය යුතුවන්නේ කෑමෙන් බීමෙන් පමණක් ම නොවේ. ඔබ එකතු කරගන්නා තේමාව, ඒ හා මුසු වුණු නිර්මාණශීලි බවින් ද පොහොසත් විය යුතුයි. කෑමෙන් ගතත්, නිර්මාණශීලිබවින් සිතත් පිනා යාවී.

පන් කොළවලින් නිමවූ පිඟන්, වට්ටි, කුල්ල.....මේ දේවල්වලට මල් සැරසිල්ලක් එකතුකිරීමෙන් තවත් අලංකෘත වේවි.

අවුරුදු කෑම සඳහා ස්වභාවික වර්ණකාරකයන් එකතු කොට උදාහරණයක් ලෙස කොකිස් වර්ණ ගැන්වීම ආදී දේවලින් චමත්කාරජනක බවක් ගෙන දෙන්නට පුළුවන් වේවි. පවුලේ අයගේ රුචිකත්වය මත කිරිබතට වුවත් ළා පැහැති වර්ණයක් එකතු කළ හැකියි. කැමැති නම් කිරිබත බුලත් කොළයේ හැඩයට සකසා ගන්නත් පුළුවන්.

 

උපදෙස් :

ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පිනි ආචාර්ය

දිලිනි හල්විටිගල