ගමනක් යන්න හදනවිට දහදියෙන් නෑවෙනවා

මාර්තු 4, 2020

ප්‍රශ්නය - මම 21 හැවිරිදි තරුණියක්මි. ගමනක් යෑමට පිටත් වනවිට සහ කෙනකු ඉදිරියේ කතා කිරීමේ දී මගේ අත්, කකුල් සහ කිහිලි ආදියට දහදිය දමයි. කිහිලිවලට අධික ලෙස දහදිය දමන නිසා ඇඳුම් තෝරාගැනීම පවා මහත් වධයක් වී ඇත.

එමෙන්ම මා වැඩක් කරන විට එය ඉක්මනින් නිමාකර ගත නොහැකි වෙතැයි බියක් ඇති වේ. මා වැඩි කැමැත්තක් දක්වන්නේ තනිවම කාලය ගත කිරීමටයි. මා කෙනකු සමඟ කතා කළ පසු ඔහු හෝ ඇය මා ගැන කෙසේ සිතුවා ද? දන්නේ නැහැ කියා හිතේ චකිතයක් ඇති වේ.

මා කෙදිනක හෝ විවාහ වූ විට ජීවිතයේ වගකීම් දරා ගැනීමට නොහැකි වෙතැයි බියක් ද හිතේ පවතී. එම නිසා මා විවාහ වීමට ද අකැමැතිය. මට ඇත්තේ මානසික රෝගයක් කියා විටෙක සිතෙයි.

 

රඹුක්කන - චතුරිකා

 

පිළිතුර

ඔබ සඳහන් කර ඇති කරුණුවලින් පැහැදිලි වන්නේ ඔබ සමාජ භීතිකාවකින් පෙළෙන බවය.

ඔබ පුද්ගලයන් හමුවීම, සමාජය ඉදිරියට යෑම ආදියට පසුබට වන්නේ එනිසාය.

මෙවැනි සමාජ භීතිකාවක් ඇති වන්නේ සමාජ කුසලතා අඩු නිසාය. එම නිසා ඒ අය වැඩි වැඩියෙන් එම කුසලතා වර්ධනය කරගත යුතුය.

තමා තමන්ට නීති රීති පනවා නොගෙන සිත චංචල වුවද තමන් අපහසුතාවට පත්වන දේ වැඩි වැඩියෙන් කළ යුතුයි.

එසේ වැඩි වැඩියෙන් සමාජය ඉදිරියට යනවිට සමාජයට බිය ස්වභාවය හෙවත් සමාජ භීතිකාව අඩු වනු ඇත.

වැඩියෙන් දහදිය දමන්නේ ද එම තැති ගැන්ම වැඩි නිසාය.

කාමරයකට වී තනිවම සිටින විට සමාජ භීතිකාව වැඩිවනවා මිස අඩුවන්නේ නැත.

මේ සමඟම ආතතිය ද ඇති වේ. ජීවිතය එපා වන ස්වභාවයක් පවතින්නේ ඒනිසාය. තමන් විසින්ම හදාගත් රාමුවක හිර නොවී එළියට පහළියට යන්න. හැම දෙනාම ඇසුරු කරන්න. මේ තත්ත්වය එලෙස සමනය කරගත නොහැකි නම් මනෝ වෛද්‍ය සායනයකට යන්න. උපදේශනයක් ලබාගන්න.

 

උපදෙස් - අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මමෝවෛද්‍ය

කපිල රණසිංහ

 

2020/03/04  තරුණි බලන්න