මේ දවස්වල ස්ටයිල් එකට වතුර බොන්න

මාර්තු 18, 2020

විලාසිතා මන බඳිනා විලාසිතා . . . උණුසුම් කාලගුණයත් සමඟ දිව ගිලෙන්න පිපාසය දැනෙන කාලයක් වුණත් නෙත පිනවන විලාසිතාවලින් නම් අඩුවක් නැහැ. ඇඳුම් පැලඳුම් වගේම මේ අපේ ශරීර සෞඛ්‍යයටත් බොහොමයක් විලාසිතා එක් කළ යුතු කාලයක්.

අපේ වරදින් පරිසරය විනාශ වෙලා. ඒ නිසා උණුසුම අහස සූරන මැදුරු වගේම ඉහළ ගිහින්. අපි හරියට සූර්යයාට ළං වෙලා ඉන්නවාද කියලා හිතෙන තරමට උණුසුම අධිකයි.

ලෝකය එකම ගම්මානයක් වී තිබියදී ඇමේසන් වනයේ, ඔස්ට්‍රේලියාවේ පැතිර ගිය ලැව් ගිනිවල උණුසුම අපේ රටටත් නොදැනෙන බව පවසන්නේ කෙසේ ද? හරියට කොරෝනා වෛරසය ගෝලීය තර්ජනයක් වූවා සේම උණුසුම ද තර්ජනයක් වෙලා අවසන්.

* අපි ඉන්නේ නාගරික උණුසුම් දූපත්වල

ලෝකයේ මහා බලවන්තයකු වන අමෙරිකානු එක්සත් ජනපදයේ වගේම දියුණු වෙමින් පවතින අපේ අටේත් උපඡචද ඩ්ඥචබ ධ්ඵතචදඤ (අර්බන් හීට් අයිලන්ඩ්) හෙවත් නාගරික උණුසුම් දූපත් කලාප බිහි වෙමින් පවතිනවා. නගරයකට ගිය විට උස කොන්ක්‍රීට් ගොඩනැඟිලි මොනතරම් ඇස ගැසෙනවාද? මේ ගොඩනැඟිලි හිරු කිරණ උරාගෙන අධෝරක්ත කිරණ පිට කරනවා. ඒවාගේම නගරයේ අධික ජනගහනයෙන්, කම්හල්වලින්, රථ වාහනවලින් ද පරිසරයට උණුසුම එක් වෙනවා. මේවා අවසානයේදී නාගරික උණුසුම් දූපත් බවට පත් වෙනවා. දහවල රාත්‍රී කියා වෙනසක් නොමැතිව පරිසරය උණුසුම්. මෙවැනි පරිසරයක වාතය වගේම, ජලය ද අපිරිසුදුයි.

ගත දවන අධික උණුසුම නිවා ගන්න බොහෝ දෙනෙක් තෝරා ගන්නේ වායු සමීකරණ යන්ත්‍රය නැත්නම් විදුලි පංකාව. එයින් තව තවත් නාගරික උණසුම් දූපත්වල උණුසුම දෙගුණ තෙගුණ වෙනවා. දැන් දැන් දියුණු රටවල කොන්ක්‍රීට් වනාන්තර හරිත පියැසිවලින් වැසී යන්නේ සොබා දහම නොමැතිව ජීවත් විය නොහැකි බව පිළිගනිමින්. කොන්ක්‍රිට් වනාන්තර වටා ගස් සිටුවීමෙන් වායු සමීකරණ යන්ත්‍ර පරදන සිසිලසක් ලබා ගන්න පුළුවන්.

වැදූ මවටත් මහ පොළොවටත් කෙරෙන චෝදනාවල නිමක් නැති වුණත් හදවට එකඟව දැන් පවතින උණුසුමට කිසිවකුටත් චෝදනා එල්ල කරන්න බෑ. ජලය, වාතය, මහ පොළොව මිනිසා විසින් කුණු බක්කි කර අවසානයි.

“ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ රස්නෙ වැඩියි” කියා කාලගුණයට දබර ඇඟිල්ල දිගු කිරීමේදී අනෙක් ඇඟිලි සියල්ලම තමන් දෙසට නැවී පවතිනවා. කොහොම වුණත් දැන් තියෙන්නේ අප විසින්ම නිර්මාණය කළ උණුසුමෙන් සහනයක් ලබා ගැනීමේ ක්‍රම සොයා ගැනීමයි. ඒ ක්‍රම මේ ග්‍රීෂ්මයේදී යල් පැන නොයන විලාසිතාවක් කර ගත්තොත් ග්‍රීෂ්මයත් සිසිලසක් දැනෙනවා සිකුරුයි.

* වතුර බෝතලය යනෙන තැන රැගෙන යන්න

ඇළක දොළක ගිලිලා හිටියත් ගතට සිසිලසක් කැන්දා ගන්න අමාරු එක් හේතුවක් අපේ ගත මේ උණුසුමත් සමඟ සහරා කාන්තාරයකටත් වඩා වියළෙන්නට ගැනීමයි. අප ගන්නා ජලය මුත්‍රා ලෙස පිටවීමට අමතරව සිරුරෙන් දහදිය ලෙස නිරන්තරයෙන් පිටවීමෙන් මෙසේ අපට නොනිවෙන පිපාසයක් ඇති වෙනවා. ඒ නිසා කොතැන ගියත් ජංගම දුරකථනය වගේම කුඩා වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකළ යුතුයි. වතුර බෝතලයේ තැන පැණි බීමවලට හෝ වෙන කිසිදු පානයකට දෙන්න එපා.

පැණි බීම, ශක්තිජනක පාන, ස්පෝට්ස් ඩ්‍රින්ක්ස්, මධ්‍යසාර අඩංගු පාන බිඳක්වත් පානය නොකරන්න. කැෆේන් අඩංගු පානවලින් ද විජලනය වැඩි වෙනවා. මේවායින් මුත්‍රා පිටවීම වැඩි කරන අතර එමඟින් සිරුර විජලනයට පත් වෙනවා.

උපදෙස් - ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ 
වෛද්‍ය අධ්‍යක්ෂ
(මාතෘ හා ළමා සෞඛ්‍ය)
පවුල් සෞඛ්‍ය කාර්යාංශය
චිත්‍රමාලි ද සිල්වා 
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ 
වෛද්‍ය ඉනෝකා සුරවීර
 
 
 

 

2020/03/19 තරුණි බලන්න

 

ඡායා -  ශාන් රඹුක්වැල්ල