කෝවිඩ් හැදිලා ගෙදර ඉන්නවා නම් ඖෂධ ගන්න ඕන කොහොමද ?

පෙබරවාරි 21, 2022

කෝවිඩ් - 19 නො වැලඳුණ කෙනකු සිටින නිවෙසක් සොයා ගැනීම දැන් කෙනකු නො මළ ගෙයකින් අබ ඇට සොයා ගැනීම වාගේ කාර්යයක්. තමන් ගේ නිවෙසේ නො වුණත් අසල් ගෙයක හෝ කෝවිඩ් වැලඳුණු අය සිටින තරම් එය සාමාන්‍ය වෙලා. එහෙත් ලොවට ම වසංගතයක් වූ මේ රෝගය ගැන සරලව සිතන්නට නම් බැහැ.

තමන් පරෙස්සම් වීමත් අන් අය පරෙස්සම්කර ගැනීමත් රෝගය ඉක්මනින් සුව වනසේ ඇවතුම් පැවතුම් හැඩ ගස්වා ගැනීමත් ඉතාමත් වැදගත්.

තමන් ම වෛද්‍යවරයා / වෛද්‍යවරිය නො වී වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කළොත් නිය පොත්තෙන් කඩා ගත හැකි රෝගයක් පොරොවෙන් කැපිය හැකි තත්ත්වයට දුරදිග යන්නේ නැහැ.

මොනවගේ බෙහෙත් ද කෝවිඩ් හැඳුන ම ගන්න ඕන ?

මේ දිනවල සියයට අනූපහක් ම වාගේ පැතිර යන්නෙ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. නව ප්‍රභේදයේ රෝග ලකුණු ඩෙල්ටා ප්‍රභේදයට වඩා තරමක් වෙනස්. උගුරේ ඇතිවන කැසීමක් වැනි අපහසුතාවක්, උණ ගතියක් තදින් නො දැනුණත් තද හිසරදයක් ඇති වීම නව ප්‍රභේදය ආසාදිත වූවන් අතර සුලබයි.

කෝවිඩ් වැලඳුණු රෝගියකු කළ යුත්තේ තමන් ගේ රෝග ලකුණු සමනය කරන ප්‍රතිකාර ගැනීමයි. හිසරදය, උණ, සිරුරේ වේදනාව වැනි සුලබ ම ලකුණුවලට නිවෙසේ සිට ප්‍රතිකාර ගන්න අයකුට ඇති හොඳම බෙහෙත පැරසිටමෝල්. වැඩිහිටියකුට නම් පැරසිටමෝල් පෙති දෙකක් දවසට තුන් වරක් හෝ සිව් වරක් ගැනීමට පුළුවන්. ගන්නා වාර ගණන රෝග ලකුණුවල අඩු වැඩිකම අනුව තීරණය කළ යුතුයි. උදා - පැරසිටමෝල් පෙති දෙකකින් රෝග ලකුණු සමනය වෙනවා නම් නැවත නැවත ගත යුතු නැහැ. පැරසිටමෝල් පෙති සමඟ වෙනත් වේදනානාශක ඔසු ගන්න එපා. පැරසිටමෝල් ප්‍රමාණවත්. මෙසේ පැරසිටමෝල් සමඟ වෙනත් වේදනානාශක ගැනීමෙන් මලබද්ධය, නිදිමත වාගේ අතුරු ආබාධ ඇතිවන්න ප්‍රළුවන්.

සොටු දියර ගැලීම, උගුරේ කැසීම වැනි රෝග ලකුණු ඇත්නම් වෛද්‍ය උපදෙස් අනුව ඇන්ටිහිස්ටමීන් ( Antihistamines ) කාණ්ඩයේ ඔසු ( උදා - ලොරටඩීන් / loratadine , ෆෙක්සොෆෙනඩීන් / fexofenadine වැනි ) ගත යුතුයි. නිවෙසේ සිට ප්‍රතිකාර ගන්නා රෝගියකු කිසිදු අවස්ථාවක ප්‍රතිජීවක ඔසු ලබා ගැනීම සුදුසු නැහැ. කෝවිඩ් කියන්නේ වෛරස් රෝගයක්. වෛරස් රෝගවලට ප්‍රතිජීවක ඔසුවලින් සුවයක් ලබන්න බැහැ. අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඔසු ගැනීමෙන් සිදු වෙන්නේ අපේ සිරුරේ ජීවත්වන හිතකර බැක්ටීරියා විනාශ වීමයි. එවිට අපේ ප්‍රතිශක්තිය දුබල වෙනවා. ඒ වගේ ම අහිතකර බැක්ටීරියා හිතකර බැක්ටීරියා මැඬලමින් වර්ධනය වී අපව ආසාදනවලට වැඩිපුර ගොදුරු විය හැකි තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම අනවශ්‍යව ප්‍රතිජීවක ඔසු නිසා ඇති වන අතුරු ආබාධවලට ද ගොදුරු වන්න පුළුවන්. අසාත්මිකතා ඊට හොඳම උදාහරණයක්. උග්‍ර අසාත්මිකතාවක් ඇති වුණොත් කෙනකු මරණයට පවා පත් වීමට ඉඩ තිබෙනවා. අපේ රටෙන් එවැනි මරණ වාර්තා වී තිබෙනවා. උගුරේ කැසීමක්, ගිලින විට රිදීමක්, කැස්ස තිබුණත් නිවෙසේ සිට ප්‍රතිකාර ගන්නා අයට ප්‍රතිජීවක ඔසු අවශ්‍ය වන්නේ නැහැ. ප්‍රතිජීවක ලබා ගත යුත්තේ වෛද්‍යවරයා නියම කළොත් පමණයි.

රෝගය දුර දිග ගොස් කෝවිඩ් නියුමෝනියා තත්ත්වය ඇති වී සිරුරේ ඔක්සිජන් මට්ටම අඩුවී රෝහල්ගත කිරීමට සිදු වුණොත් වෛරස ආසාදනය බැක්ටීරියා ආසාදනය දක්වා දුරදිග ගොස් ඇත්නම් වෛද්‍යවරයා ප්‍රතිජීවක ඔසු ලබා දේවි.

උගුරේ කැසීමක්, වේදනාවක්, අපහසුතාවක් ඇත්නම් දිනකට කීපවරක් ( දෙතුන් වරක් ) සාමාන්‍ය ලුණු ප්‍රමාණයක් එක් කළ මඳ උණුසුම් ජලයෙන් උගුර සෝදන්න. එයින් මුවේ උගුරේ ඇති විසබීජ විනාශ වෙලා සහනයක් ද ලබා ගන්න පුළුවන්.

ප්‍රතිජීවක වගේම ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධ ( Steroids ) ද නිවෙසේ සිට ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය නැහැ. ඩෙක්සමෙතසෝන් ( Dexamethasone) වැනි ස්ටීරොයිඩ් ඖෂධ දෙන්නේ කෝවිඩ් නියුමෝනියා තත්ත්වය දක්වා රෝගය උත්සන්න වූ විටයි. මුල් කාලයේ මේ ඔසු ගැනීමෙන් කෝවිඩ් රෝගයට සිරුරින් ඇතිවන ප්‍රතිශක්තිය අඩු වෙනවා. එවිට රෝගියා බරපතළ තත්ත්වයකට පත්වන්න පුළුවන්. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා.

මේ කාලයේ සමාජ මාධ්‍ය මඟින් නොයෙකුත් ඖෂධ ගැන අසත්‍ය ප්‍රචාරය කරනවා. ඒවා දොස්තරවරුන් නොව කොන්දොස්තරවරුන් වගේ වෛද්‍ය විද්‍යාව නූගත් පිරිස නිර්දේශ කරන ඔසු නිසා රැවටෙන්න එපා.

කැමැති නම් ප්‍රතිශක්තිය ඉහළ නංවන විටමින් ඩී, සී, සින්ක් ගත්තාට වරදක් නැහැ. ඒත් ඒවා අත්‍යාවශ්‍ය නැති බව මතක තියා ගන්න. ඇඳ විවේකය කෝවිඩ් - 19 ට ඇති හොඳම පිළියමක්. විවේකයෙන් සිටින විට අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. මේ කාලයේදී වෙනදාටත් වඩා හොඳින් ජලය පානය කළ යුතුයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වීම ඇවතුම් පැවතුම් අකරට එක්කර ගතයුතු ඉතා වැදගත් දෙයක්. බූස්ටර් එන්නත කෙනකු රෝහල්ගත වීමේ ඉඩ, රෝගයෙන් මරණයට පත්වීමේ අවදානම අඩු කරනවා. අලුත් ම පර්යේෂණවලින් පෙන්වා දෙන අන්දමට බූස්ටර් එන්නතින් හදවතට වන බලපෑමට වඩා පස් ගුණයක වැඩි බලපෑමක් කෝවිඩ් වැලඳුණොත් හදවතට ඇති වෙනවා. බූස්ටර් එන්නතේ තවත් වාසියක් නම් හතිය, අමතක වීම වැනි පසු කෝවිඩ් සංකූලතා පස් ගුණයකින් අඩුවෙන් ඇතිවීමයි.

දින තුන හතරකින් රෝග ලකුණු අඩු නො වුණොත් ( උණ, හිසරදය උග්‍ර වුණොත්, වමනය යාමට පටන් ගත්තොත්, වෙනත් රෝග ලකුණු මතු වුණොත් ආහාර පාන ගැනීමට නො හැකි වුණොත් ) වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

 

උපදෙස් - ඖෂධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය
ප්‍රියදර්ශනී ගලප්පත්ති

සටහන
චම්පිකා දීපානි රණසිංහ