Wednesday, June 3, 2026
Epaper
Home Beautyසැබෑ ලස්සන ඇතුළතින් එන දෙයක්

සැබෑ ලස්සන ඇතුළතින් එන දෙයක්

by Shanaka Lakehouse

අද සමාජයේ “ලස්සන” කියන දේට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ගොඩක් අය තමන්ව තවත් ලස්සන කරගන්න විවිධ රූපලාවණ්‍ය සත්කාර කරනවා. කොණ්ඩය ස්ට්‍රේට් කිරීම, ෆේෂල් කිරීම, සම සුදු කිරීම, හෙයාර් කලර් කිරීම, හෙයාර් එක්ස්ටෙන්ෂන් දාගැනීම වගේ දේවල් අද සාමාන්‍ය දෙයක් වෙලා. හැබැයි අපි බොහෝ දෙනා අමතක කරන වැදගත්ම කාරණය තමයි රූපලාවණ්‍ය, සෞඛ්‍ය සහ යහපැවැත්ම (Beauty, health and wellbeing) කියන කොටස් තුන එකිනෙකට ගොඩක් සම්බන්ධයි කියන එක.


බියුටි කියන්නේ පිටත පෙනුම විතරක් නෙවෙයි

ගොඩක් අය රූපලාවණ්‍ය කියන්නේ මේක් අප්, කොණ්ඩා විලාසිතා, සමේ පැහැය සහ විලාසිතා කියලා හිතනවා. හැබැයි සැබෑ රූපලාවණ්‍ය තුළ තියෙන්නේ සෞඛ්‍යමත් ශරීරයක්, සැහැල්ලු මනසක් සහ තමා ගැන විශ්වාසයක්. අපි ඇතුළතින් සතුටින් සහ සෞඛ්‍යසම්පන්නව හිටියොත් ඒ ලස්සන ස්වාභාවිකවම පිටතට පේනවා. එයයි සැබෑ රූපලාවණ්‍ය කියන්නේ.

රූපලාවණ්‍ය සත්කාරවලදී සිදුවන වැරදි

අද බොහෝ වෙලාවට සැලෝන් එකකට ගියාම සේවාලාභියා කියන දේම කරන තත්ත්වයක් තියෙනවා. “මට මේක කරන්න”, “මට අර හෙයාර් කට් එක ඕනේ” කියලා කෙනෙක් කියනවා. ඒ කෙනා කියන නිසාම රූපලාවණ්‍ය ශිල්පියත් ඒ දේ කරනවා. හැබැයි ඒ කෙනාට ඇත්තටම ඒ සත්කාරය ගැළපෙනවද කියලා බලන්නේ නැහැ.

හිසකෙස් අඩු සිහින් කෙස් කලඹක් තියෙන කෙනෙක් ස්ට්‍රේට්නිං කළාම කොණ්ඩේ තවත් අඩු වෙලා ෆ්ලැට් පෙනුමක් එන්න පුළුවන්. එහෙම කෙනෙක් කොණ්ඩේ ස්ට්‍රේට් කරලා දවසක් දෙකක් යද්දී එක එක්කෙනාගෙන් හිත රිදෙන අදහස් එන්න ගන්නවා. ඒකෙන් එයා මානසිකව වැටෙනවා. ඒ කියන්නේ රූපලාවණ්‍ය සත්කාරයක් තමන්ගේ යහපැවැත්මට වැරදි විදිහට බලපාන තත්ත්වයක් බවට පත් වෙනවා.

තාවකාලික ලස්සන වෙනුවෙන් ස්වාභාවික ලස්සන නැතිකරගැනීම

අද කාලේ කෘත්‍රිම සුන්දරත්වය පස්සේ යන අය තමයි වැඩියෙන් ඉන්නේ. ඒ අය සම සුදු කරගන්න ආලේපන සහ රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය සත්කාර භාවිත කරනවා. හැබැයි ඒවායේ තියෙන අතුරු ආබාධ ගැන හිතන්නේ නැහැ.

සමහර රසායනික නිෂ්පාදන නිසා සමේ සංවේදී වීම, අසාත්මිකතා, කුරුලෑ, කුෂ්ඨ සහ සමට හානි වීම වැනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හරහා තමන්ගේ ස්වාභාවික සම විනාශ වෙනවා. තාවකාලික ලස්සනක් වෙනුවෙන් සෞඛ්‍යයට හානි කරගැනීම හොඳ දෙයක් නෙවෙයි.

ආහාර සහ රූපලාවණ්‍ය අතර සම්බන්ධය

අපි කන බොන දේවල් අපේ සමට සහ ශරීරයේ ද ඝෘජුවම බලපානවා. වැඩියෙන් තෙල් සහිත ආහාර, ක්ෂණික ආහාර සහ සීනි කෑවොත් කුරුලෑ සහ සමේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. වතුර අඩුවෙන් බොනවා නම් සම තවත් වියළි වෙනවා.

ඒ වගේම ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත් ඇස් යට කළු වෙනවා. ආතතිය වැඩි වුණොත් හිසකෙස් වැටීම සහ සමේ කැළැල් ඇති වෙන්න පුළුවන්.

ජීවන රටාව වැදගත්

ගොඩක් අය කොණ්ඩේ දික් කරගන්න hair extensions දානවා. හැබැයි ඒවා නඩත්තු කරන්න කොච්චර කැපවීමක් කරන්න ඕනේද කියලා හිතන්නේ නැහැ. උදේට විනාඩි දෙක තුනට සාරියක් පටලවගෙන ඔෆිස් දුවන කාර්යබහුල ජීවන රටාවක් තියෙන කෙනෙක්ට නම් extensions පවත්වාගෙන යෑම අමාරු වෙන්න පුළුවන්. මොකද එහෙම හදන කොණ්ඩයක් උදේට සිය වතාවක් සහ සවසට සිය වතාවක් පීරන්න ඕනේ. නැත්නම් ගැටගැහෙන්න බලනවා. ඒ විදිහේ කොණ්ඩයක් හොඳින් පවත්වා ගැනීම නොකළොත් කොණ්ඩේ ඉක්මනින්ම හානි වෙනවා. එතකොට රූපලාවණ්‍ය සත්කාරය ආතතියක් බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙක් ඇවිත් මේක කරන්න කියලා කියූ පමණින් නොකර සේවාලාභියාගේ ජීවන රටාව ගැනත් විමසා බලන්න.

සැලෝන් එකකට ගියාම කළ යුතු දේ

සැලෝන් එකකට ගියාම “මට මේක කරන්න” කියනවට වඩා “මට ගැළපෙන දේ මොකක්ද?” කියලා අහන්න පුරුදු වෙන්න. තමන්ගේ මුහුණේ හැඩය, සමේ වර්ගය, කෙස් කලඹේ ස්වභාවය සහ ජීවන රටාව අනුවයි සත්කාරය තෝරාගන්න ඕනේ. තමන්ට දිගටම පවත්වාගෙන යන්න බැරි දේවල් කරන්න ගිහින් පසුව පසුතැවෙන්න සිදු වෙන්න පුළුවන්.

යහපැවැත්ම කියන්නේ මනසත් එක්ක සම්බන්ධ දෙයක්

යහපැවැත්ම කියන්නේ ශරීර සෞඛ්‍ය විතරක් නෙවෙයි. මානසික සැනසීම, සතුට, ආත්ම විශ්වාසය සහ තමාටම ආදරය කිරීම කියන දේවලුත් යහපැවැත්මේ කොටස්.

අපි අපිව අනිත් අයත් එක්ක සංසන්දනය කරගෙන අනිත් අය කරන නිසා අපිත් ඒකම කරන්න ඕනේ කියන සිතුවිල්ලෙන් දෙයක් කරන්න ගියොත් අන්තිමට මානසික පීඩනයට පත් වෙන්නේ ඔබමයි.

ස්වභාවික ලස්සන පවත්වාගන්න නම් තමන්ට තනිවම කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. හොඳ ආහාර වේලක් ගන්න. ප්‍රමාණවත් තරම් වතුර බොන්න. නිසි වෙලාවට නිදාගන්න. ආතතිය අඩු කරගන්න. ස්වාභාවික නිෂ්පාදන භාවිත කරන්න. තමන්ට ගැළපෙන සත්කාර විතරක් තෝරාගන්න. ධනාත්මක මානසිකත්වයක් තියාගන්න.

Beauty, health සහ wellbeing කියන්නේ එකිනෙකට වෙන් කරන්න බැරි දේවල් තුනක්. පිටතින් ලස්සන වෙන්න කලින් ඇතුළතින් සෞඛ්‍ය සම්පන්න වෙන්න උත්සාහ කරන්න.

සැබෑ ලස්සන රැඳී තියෙන්නේ මේක් අප් එකක හෝ රසායනික ආලේපනවල නෙවෙයි. හොඳ ජීවන රටාවක්, සෞඛ්‍යසම්පන්න ශරීරයක් සහ සතුටින් පිරි මනසක් තුළයි. අපි ඇතුළතින් ලස්සන වුණොත් ඒ ලස්සන ස්වාභාවිකවම පිටතට පේනවා.

 

TEXT – විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?